රටේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් ජාතික විද්වත් සංවිධානය විශාල සේවයක් සිදු කළ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි. ජාතික ජන බලවේගයේ ජාතික විද්වත් සංවිධානයේ කැලණිය ආසන සමුළුව පසුගිය 19 වැනිදා කිරිබත්ගොඩ සනාරා මන්දිර හෝටල් පරිශ්‍රයේදී පැවැති අතර, අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එහිදීය.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල, හිටපු බලශක්ති අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්විණි. කැලණිය, පෑලියගොඩ හා කිරිබත්ගොඩ ප්‍රදේශ නියෝජනය කරමින් විද්වතුන්, වෙළෙඳ ව්‍යාපාරිකයන් හා වෘත්තීයවේදීන්ගෙන් සමන්විතව පැවති මෙම හමුවේදී නව නිලධාරී මණ්ඩලයක් හා කාරක සභාවක් පත් කරගැනීමද සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, වසර 76ක කාලරාමුව තුළ රටක් ලෙස සෑම අංශයකින්ම දැඩි පසුබෑමකට ලක්වී ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් බවට පත්වූ බවයි. එහෙත් එම බංකොළොත්භාවයෙන් රට මුදා ගනිමින් දේශපාලන, රාජ්‍ය හා පෞද්ගලික යන සෑම අංශයකම සැබෑ පරිවර්තනයක් ඇති කිරීම වෙනුවෙන් වත්මන් රජය කටයුතු කරමින් සිටින බව හෙතෙම පෙන්වා දුන්නේය. තවද, පසුගිය දෙවසරක කාලය තුළ ස්වාධීන ආයතන ස්ථාපිත කිරීම, මන්ත්‍රී විශ්‍රාම වැටුප් සහ ජනාධිපති වරප්‍රසාද අහෝසි කිරීම, IMF සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගැනීම මෙන්ම අස්වැසුම, මහපොළ ඇතුළු සුබසාධන දීමනා රැසක් ඉහළ නැංවීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















