වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳහා නව පාලන සහ මූල්‍ය කළමනාකරණ රාමුවක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, රෝහලේ අයිතිය සහ වත්කම් මහා භාණ්ඩාගාරයට සියයට 100ක කොටස් හිමිකම ඇති සමාගමක් යටතට පැවරීමටත්, කළමනාකරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් සිදු කිරීමටත් නියමිතයි. යෝජිත සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති.
නව රාමුව යටතේ මහජනතාවට නේවාසික සහ බාහිර රෝගී ප්‍රතිකාර නොමිලේ මෙන්ම ගාස්තු අය කිරීමේ පදනම මතද සැපයීමට සැලසුම් කර තිබෙනවා. 2026–2028 කාලය සඳහා කාර්ය මණ්ඩල වැටුප් සහ මෙහෙයුම් වියදම් මහා භාණ්ඩාගාරයෙන් සැපයීමටත්, නොමිලේ ලබාදෙන සෞඛ්‍ය සේවාවන් සඳහා වාර්ෂිකව ඇස්තමේන්තුගත රුපියල් මිලියන 125ක ඖෂධ හා වෛද්‍ය සැපයුම් ලබාදීමටත් නියමිතයි.















