ඇෆ්ගනිස්ථානයේ ඊසානදිග කුනාර් පළාතේ නුර්ගල් දිස්ත්‍රික්කයට එල්ල වූ පාකිස්තාන ගුවන් ප්‍රහාරයකින් එකම පවුලේ තිදෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව ඇෆ්ගන් බලධාරීන් පවසනවා.
තලේබාන් රජයේ ප්‍රකාශක හම්දුල්ලා ෆිත්‍රාට් සඳහන් කළේ පක්ටිකා පළාතේ ස්ථාන දෙකකටද ප්‍රහාර එල්ල වී ඇති බවයි. එහිදී වෙළෙඳසැලක් සහ කිසිවෙකු නොසිටි නිවසක් විනාශ වී ඇති නමුත් ජීවිත හානි වාර්තා වී නැහැ. මේ අතර, පාකිස්තාන තොරතුරු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ ඉලක්ක තුනකට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් “ත්‍රස්තවාදීන්” 28 දෙනෙකු මියගිය බවයි.
දෙරට අතර මාස කිහිපයක සාපේක්ෂ නිහඬතාවකින් පසු මෙම ප්‍රහාර හේතුවෙන් නැවතත් ආතතීන් ඉහළ යාමේ අවදානමක් මතුව තිබෙනවා. පාකිස්තානය ඇෆ්ගනිස්ථානයේ සන්නද්ධ කණ්ඩායම්වලට රැකවරණය ලබාදෙන බවට චෝදනා කරන අතර, තලේබාන් පාලනය එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.













