මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී තිබෙනවා.
අධික වර්ෂාවත් සමඟ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අකුරැස්ස, පස්ගොඩ ඇතුළු ප්‍රදේශ රැසක මාර්ග සහ පහත් බිම් ජලයෙන් යටවී ඇති බව සඳහන්.
අකුරැස්ස – සියඹලාගොඩ – පස්ගොඩ මාර්ගයේ හෝන්දුගොඩ ප්‍රදේශය ජලයෙන් යටවීමත් සමඟ එහි ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. විකල්ප මාර්ග භාවිත කළද, ඒවායේ විශාල වළවල් හෑරී තිබීම හේතුවෙන් ගමනාගමනය දැඩි ලෙස දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ.
අකුරැස්ස – මාරගොඩ මාර්ගයේ කොටස් ද මේ වනවිට ජලයෙන් යටවෙමින් පවතින අතර, මොරවක – නෙළුව මාර්ගයේ පහත් බිම් ප්‍රදේශ ද ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
මේ අතර, නිල්වලා ගඟේ ඉවුරුවල තිබූ විශාල උණ පඳුරු ගඟේ සැඩ පහරට හසුව ගසාගෙන යන අයුරු ද දක්නට ලැබී ඇති අතර, එම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශවාසීන් තුළ බියක් ද හටගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් ගංවතුරින් යටවන අකුරැස්ස – කඹුරුපිටිය මාර්ගයේ හෝන්දුගොඩ කොටස මෙවර එවැනි තත්ත්වයකට පත්ව නොතිබීම ද විශේෂත්වයක්.
ගංවතුර තත්ත්වය හමුවේ කඹුරුපිටිය මාර්ගයේ ගමන් කරන ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ඔරුවක් පවා සූදානම් කර ඇති බව අතුරලිය ප්‍රාදේශීය සභා සභාපති නුවන් රත්නායක මහතා සඳහන් කළා.
එහෙත් අකුරැස්ස – පානදුගම – සියඹලාගොඩ මාර්ගයේ ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් බලධාරීන් වෙත දැඩි අප්‍රසාදය පළ කරනවා. නිල්වලා ජල යෝජනා ක්‍රමය ආශ්‍රිතව ගඟ උතුරා යන ප්‍රදේශයේ පස් කඳු ගොඩගසා තිබීම සම්බන්ධයෙන් ද ඔවුන් විරෝධය පළ කර තිබෙනවා.
ප්‍රදේශයේ පාසල් කිහිපයක දරුවන්ගේ ආරක්ෂාව සලකා දෙමාපියන් ඔවුන් නිවෙස් වෙත රැගෙන යන අයුරු ද දක්නට ලැබුණු අතර, පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ගැටඹරු පුදබිමේ පේලි පෙරහැර පැවැත්වීමට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා.
මේ අතර, නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටේ ගඟ ආශ්රිත පහත් බිම්වල සුළු ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
















