රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තිය තිරසාර ලෙස කළමනාකරණය කිරීමටත්, වසර ගණනාවක් පුරා පවතින වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබාදීමටත් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.
අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, එම ගැටලු නිරාකරණය කිරීම සඳහා 2026 ජුනි 22 දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාව පත් කර ඇති බවයි. සමස්ත රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම, නව තාක්ෂණික හා ගෝලීය ප්‍රවණතාවලට අනුකූලව අනාගත අවශ්‍යතා පුරෝකථනය කිරීම සහ පුරවැසි කේන්ද්‍රීය, ආචාරධර්මානුකූල හා වගකීම් සහිත රාජ්‍ය සේවයක් ගොඩනැගීමට අවශ්‍ය උපායමාර්ග ඉදිරිපත් කිරීම එම කොමිෂන් සභාවේ ප්‍රධාන වගකීම් බවද ඇය පෙන්වා දුන්නා.
අදාළ ගැසට් නිවේදනයට අනුව, කොමිෂන් සභාව වසරක් ඇතුළත සිය නිර්දේශ ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ සඳහා වෘත්තීය සමිති, විවිධ සංවිධාන සහ මහජනතාව වෙතින් යෝජනා, අදහස් හා ඉල්ලීම් මේ වනවිට ලැබෙමින් පවතින බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
එම යෝජනා අධ්‍යයනය කරමින් සිදු කෙරෙන ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ කාර්තුමය වාර්තාවක්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඇය වැඩිදුරටත් පැවසුවා.
මේ අතර, 2026 සැප්තැම්බර් 18 දින වනතෙක් කොමිෂන් සභාවේ නඩත්තු සේවා සහ වත්කම් මිලදී ගැනීම සඳහා හෝ වැටුප් හා දීමනා වෙනුවෙන් කිසිදු මුදලක් වැය කර නොමැති බවද අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළා.
කෙසේ වෙතත්, 2026 සැප්තැම්බර් මාසයේ වැටුප් ගෙවීමේදී කොමිෂන් සභාවේ නිලධාරීන් සිව්දෙනෙකු වෙනුවෙන් වැටුප් හා දීමනා ලෙස රුපියල් 508,988ක පමණ මුදලක් ගෙවීමට නියමිත බවද ඇය සඳහන් කළා.
















