මූල්‍ය සහ කල්බදු සමාගම් විසින් ලබාගත් වාහන හෝ වෙනත් උපකරණ නැවත පවරා ගැනීමේදී අදාළ නීතිමය ප්‍රතිපාදන දැඩි ලෙස අනුගමනය කළ යුතු බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 27 වන වගන්තිය යටතේ මේ සඳහා අනුගමනය කළ යුතු නිශ්චිත විධිවිධාන පැහැදිලි කර ඇති බවයි.
ඒ අනුව, බදු දීමනාකරු විසින් අදාළ උපකරණය පිහිටා ඇති ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත කල්තියා දැනුවත් කර සාමය කඩවීමක් වැළැක්වීම සඳහා පොලිස් සහාය ලබා ගැනීමට හැකියාව ඇත. කෙසේ වෙතත්, අයිතිකරුවන්ගේ විරෝධයක් පවතී නම් බලහත්කාරයෙන් එය ලබා ගැනීමට යාම නීති විරෝධී වන අතර, එවැනි අවස්ථාවලදී දිසා අධිකරණයේ පිහිට පැතිය යුතු බවත්, නීතිය උල්ලංඝනය කරමින් සිදුකරන බලහත්කාරී පවරාගැනීම් සඳහා අපරාධ නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි.
















