ලන්ඩනයේ හයිගේට් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 16 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මෙලීෂා ප්‍රේමරත්න නමැති සිසුවිය වන අතර, ඇය පෞද්ගලික පාසලක 12 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිට තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා (24) පෙරවරු 8.13ට පමණ නෝර්ත් රෝඩ් ප්‍රදේශයේදී ඇය පාසල වෙත පාගමනින් යමින් සිටියදී මෝටර් රථයක ගැටී ඇති බව ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය සඳහන් කරයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ ඇය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සිද්ධියට සම්බන්ධ 68 හැවිරිදි රියදුරු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර තිබේ.
මෙලීෂාගේ වියෝව සම්බන්ධයෙන් ඇයගේ පවුලේ සාමාජිකයින් සඳහන් කර ඇත්තේ ඇය සිය ජීවිතවල ආලෝකයක් වූ බවත්, ඇයව සෑම දිනකම ගැඹුරින් සිහිපත් කරන බවත්ය. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්‌ශන සිදුකරන අතර, සිද්ධිය පිළිබඳ තොරතුරු හෝ දර්ශන ඇති පුද්ගලයින්ගෙන් පොලිසිය තොරතුරු ඉල්ලා තිබේ.
















