ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්වූ ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාව හමුවේ බරපතල තුවාල ලැබූ ඔහුගේ පුත් මොජ්තබා කමේනි ප්‍රතිකාර ලැබූ රෝහලක්ද ඉලක්ක කර ගනිමින් යළිත් ප්‍රහාර එල්ල වී ඇති බව ඉරාන විශේෂඥයින්ගේ කවුන්සිලයේ සාමාජික ෂෙයික් මොහ්සෙන් අල්-හයිදරි විසින් ප්‍රථම වරට අනාවරණ කර තිබෙනවා. ටෙහෙරාන් නගරයේ රෝහල් සංකීර්ණයක් මතට එල්ල වූ මෙම ප්‍රහාරවලින් පසු කඩා වැදුණු ගොඩනැගිලි සුන්බුන් අතරින් මොජ්තබා කමේනි ඉතා අසීරුවෙන් මුදාගෙන රහසිගත ආරක්ෂිත ස්ථානයකට මාරු කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති අතර, මේ වන විටත් ඔහු දැඩි ආරක්ෂාව මධ්‍යයේ ප්‍රසිද්ධියට පත්වීමෙන් වැළකී සිටින බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය හමුවේ ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා තෝරා පත් කර ගැනීම සඳහා කොම් නගරයේ පිහිටි විශේෂඥ කවුන්සිල කාර්යාලයටද ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් නිලධාරීන් මියගොස් වැදගත් ලේඛන රැසක් විනාශ වී යාම දේශපාලන හා ආයතනික මට්ටමින් දැඩි පසුබෑමක් ඇති කළ බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. එහෙත් අතිශය රහසිගත ස්ථානයක පැවති හදිසි රැස්වීමකදී කවුන්සිලයේ බහුතර ඡන්ද විමසීමකින් අනතුරුව මොජ්තබා කමේනි නව උත්තරීතර නායකයා ලෙස පත් කරනු ලැබූ නමුත්, රාජ්‍ය මාධ්‍ය ඔස්සේ නිල වශයෙන් ප්‍රකාශයට පත්වන තෙක් ඔහුද මේ පිළිබඳව කිසිදු දැනුවත්භාවයකින් සිට නැත.
මෙම නායකත්ව මාරුව සහ හදිසි පත්වීමත් සමඟ ඉරානයේ දේශපාලන අර්බුදය සහ කලාපීය භූ දේශපාලනික උණුසුම තවදුරටත් උග්‍ර අතට හැරී ඇති අතර, එළඹෙන කාලසීමාව තුළ රටේ අභ්‍යන්තර ස්ථාවරත්වය මෙන්ම ජාත්‍යන්තර සබඳතා කෙරෙහි මෙම වර්ධනයන් දැඩි ලෙස බලපානු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
















