දිර්ඝ කාලයක් පුරා රාජ්‍ය සේවයේ පැවති පුරප්පාඩු ක්‍රමානුකූලව පිරවීම සඳහා මේ වසර තුළ නව බඳවා ගැනීම් 120,000කට අධික පුළුල් වැඩපිළිවෙළක් රජය විසින් නිල වශයෙන් ආරම්භ කර තිබේ. පසුගිය වසරේදී උපාධිධාරීන් සහ සුදුසුකම් ලත් තරුණ තරුණියන් 35,000කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට එක් කරගැනීමේ පසුබිමක, මෙම නව බඳවාගැනීම් හරහා අත්‍යවශ්‍ය ආයතනික ක්ෂේත්‍රවල පවතින මානව සම්පත් හිඟයට කඩිනම් විසඳුම් ලබාදීම රජයේ අපේක්ෂාව වී ඇත.
මෙම වැඩසටහන යටතේ විශේෂ අවධානයක් යොමු කරමින් ගුරුවරුන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනීමට නියමිත අතර, ඒ සඳහා වන තරග විභාග සහ සම්මුඛ පරීක්ෂණ කඩිනමින් අවසන් කර සුදුසුකම් ලත් අපේක්ෂකයින් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ මූලික කටයුතු මේ වන විට සූදානම් කර අවසන්ය. මීට අමතරව, දීර්ඝ කාලයක් පුරා පැවති ග්‍රාම නිලධාරී පුරප්පාඩු ආවරණය කිරීම සඳහා 1,500කට අධික පිරිසක් බඳවා ගැනීමේ ක්‍රියාවලියද මේ වන විට අවසන් අදියරට ළඟා වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.
මෙම අඛණ්ඩ බඳවා ගැනීමේ ක්‍රියාවලිය හරහා රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නංවාලීමටත්, රටේ තරුණ තරුණීන්ට නව රැකියා අවස්ථා උදාකර දීමෙන් ආර්ථිකයට නව ශක්තියක් එක් කිරීමටත් හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එළඹෙන කාලසීමාව තුළ මෙම සියලුම අපේක්ෂකයින් සේවයට එක්වීමත් සමඟ රාජ්‍ය සේවා සැපයුම් යාන්ත්‍රණය තවදුරටත් විධිමත් වී මහජන සේවාවන් වඩාත් සක්‍රීය මට්ටමකට පත්වනු ඇත.
















