පොලිස් නිලධාරීන් සඳහා ශරීර කැමරා 500ක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් අයුරින් සිදුව නොමැති බවත්, එහි තාක්ෂණික පිරිවිතර සකස් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය හෙවත් චැට් ජී.පී.ටී. (ChatGPT) භාවිත කර ඇති බවට පෙනී යන බවත් ජන අරගල ව්‍යාපාරයේ වසන්ත මුදලිගේ මහතා නුගේගොඩදී පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළේය. ලේඛන සකස් කිරීමේදී ඇතිවන තාක්ෂණික සලකුණු පවා ඉවත් නොකර අදාළ ලේඛනවල එලෙසම පවතින බව පෙන්වා දෙනු ලැබූ අතර, ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වී ඇති සමාගම්වල ලංසු මිල ගණන් රුපියල් කෝටි 5 සිට කෝටි 36 දක්වා විශාල පරතරයකින් යුතුව පැවතීම දැඩි සැකයට තුඩු දෙන්නකි.
මෙම ටෙන්ඩරය යටතේ රජයට අයත් සමාගමක් රුපියල් කෝටි 17ක පමණ ලංසුවක් ඉදිරිපත් කර තිබියදී, එම සමාගමටම අයත් අනුබද්ධ තවත් සමාගමක් රුපියල් කෝටි 6ක පමණ ලංසුවක් ඉදිරිපත් කර තිබීම බරපතළ ගැටලු සහගත තත්ත්වයකි. එපමණක් නොව, රටේ ප්‍රධාන ආරක්ෂක අංශයක් සඳහා කැමරා 500ක් පමණක් මිලදී ගැනීම ප්‍රමාණවත්ද යන්න සහ මෙය මුවාවෙන් විශාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ සැක සහිත සැලසුමක් පවතීද යන්න පිළිබඳවද මෙහිදී දැඩි ප්‍රශ්න කිරීම් සිදු කෙරිණි.
අදාළ ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින මෙම අපැහැදිලි තත්ත්වය හමුවේ, සැක සහිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අත්හිටුවා විධිමත් තාක්ෂණික සමාලෝචනයක් සහ නිසි උපදේශනයක් මත පදනම්ව නව ක්‍රමවේදයක් ආරම්භ කළ යුතු බව ජන අරගල ව්‍යාපාරය තරයේ අවධාරණය කරයි. මහජන මුදල් යොදවා සිදු කරනු ලබන මෙවැනි රාජ්‍ය මිලදී ගැනීම්වල විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම සඳහා බලධාරීන් වහාම මැදිහත් විය යුතු බවට මෙයින් දැඩි පණිවිඩයක් ලබා දී තිබේ.
















