කොළඹ නගරයේ දිනෙන් දින උත්සන්න වන රථවාහන තදබදයට පිළියම් යෙදීම සහ මගී ජනතාවට වඩාත් සුවපහසු මෙන්ම ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවයක් තහවුරු කිරීමේ අරමුණින්, බස්නාහිර පළාතේ ප්‍රධාන මාර්ග 7ක් කේන්ද්‍ර කරගනිමින් නව මෙට්‍රෝ බස් රථ 104ක් ධාවන මණ්ඩලයට එක් කිරීමට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සියලු කටයුතු සූදානම් කර තිබේ. දිනපතා කාර්යාල හා සේවා ස්ථාන වෙත පැමිණෙන මගීන් අතර පෞද්ගලික වාහන භාවිතය, විශේෂයෙන්ම එක් මගියෙකු පමණක් ගමන් කරන වාහන සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් හටගෙන ඇති දැඩි ප්‍රවාහන තදබදය මඟහරවා ගැනීම මෙම ව්‍යාපෘතියේ මූලික අපක්ෂය වී ඇත.
මෙම නව බස් රථ සේවාව හෙට (29) දින සිට ක්‍රියාත්මක වන අතර, මෙට්‍රෝ බස් සභාපති එස්.එම්.යූ.පී. තිලකරත්න මහතා පෙන්වා දෙන පරිදි, මගීන්ට නියමිත කාලසටහන් සහ මාර්ගයන්ට අනුව කිසිදු අපහසුතාවකින් තොරව තම ගමනාන්ත වෙත ළඟා වීමට මෙයින් විශාල පහසුවක් සැලසෙනු ඇත. කොළඹට ඇතුළු වන වාහන තදබදය සැලකිය යුතු ලෙස අවම කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවාවන් වෙත මහජනතාව යොමු කරවීම ජාතික මට්ටමේ ප්‍රමුඛතාවක් වී ඇති බැවින්, මෙම බස් රථ ව්‍යාපෘතිය හරහා දෛනිකව මාර්ගවල ධාවනය වන වාහන සංඛ්‍යාව පාලනය කරගත හැකි වනු ඇතැයි අපේක්ෂිතය.
මෙමගින් නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මක වෙනසක් ඇති කරමින් මගී ප්‍රවාහන කාලය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමටත්, අනාගතයේදී තවත් මෙවැනි ප්‍රවාහන ජාලයන් පුළුල් කිරීමටත් රජය අපේක්ෂා කරයි. මහජනතාව දිනපතා ගමනාගමනය සඳහා පොදු ප්‍රවාහන සේවාවන් තෝරා ගැනීමට දිරිගැන්වීම මගින් ඉදිරියේදී කොළඹ නගරය මධ්‍යයේ පවතින රථවාහන තදබදයට ස්ථිරසාර විසඳුමක් ලැබෙනු ඇති බවත්, එමඟින් ජාතික ආර්ථිකයට සහ පරිසරයට ද විශාල සහනයක් සැලසෙනු ඇති බවත් බලධාරීහු විශ්වාසය පළ කරති.
















