කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව සහ පුද්ගලයන්ගේ සමාජ තරාතිරම නොබලා දූෂණයට එරෙහිව නීතිය දැඩිව හා අපක්ෂපාතීව ක්‍රියාත්මක කිරීමට වත්මන් ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජාතික ප්‍රකාශය ඉදිරිපත් කළ අමාත්‍යවරයා, දූෂණය මඟින් ප්රජාතන්ත්රවාදය දුර්වල කර ජනතා විශ්වාසය බිඳ දමන ආකාරය රටක් ලෙස මනාව වටහාගෙන ඇති බව පෙන්වා දුන්නේය.
පසුගිය ආර්ථික අර්බුදවලින් අනතුරුව ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව නැවතත් ඉහළ-මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කර ඇති පසුබිමක, ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරන අතරම අවදානමට ලක්වූ ප්‍රජාවන් ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බව හෙතෙම සඳහන් කළේය. අල්ලස් හා දූෂණ විමර්ශන ආයතනවල ස්වාධීනත්වය ශක්තිමත් කිරීම මෙන්ම මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ගෙන ගිය ජාතික වැඩපිළිවෙළ හරහා ප්‍රධාන පෙළේ මහමොළකරුවන් රැසක් නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකි වූ බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.
භූ-දේශපාලනික අර්බුද මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව සිය නොබැඳි ප්‍රතිපත්තිය රකිමින් මානුෂීය වගකීම් මෙන්ම ගාසා තීරයේ සාමය වෙනුවෙන් වන ස්ථාවරය ස්ථිරව ප්‍රකාශ කළ අතර, ජාතික සමඟිය ගොඩනඟමින් 2030 වන විට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කරන බවද පැවසීය. දූෂණයෙන් තොර විනිවිදභාවයෙන් යුතු සදාචාරාත්මක රාජ්‍යයක් කරා රට ගෙන යෑමට ජනතාව ලබා දුන් ඓතිහාසික ජනවරම ක්‍රියාවෙන්ම තහවුරු කරමින් සිටින බව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ තහවුරු කිරීම ජාතික මට්ටමින් සහ ආර්ථික අනාගතය වෙනුවෙන් දැඩි බලපෑමක් ඇති කරනු ඇත.















