ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකාය නිර්මාණය කිරීමට විශිෂ්ට දායකත්වයක් දැක්වූ, සිංහ රෙජිමේන්තුවේ කීර්තිමත් සෙන්පතියෙකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් එන්. පී. ඩී. නිහාල් පැල්පොල මහතා 2026 සැප්තැම්බර් මස 25 වන දින රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. මියයන විට 88 වන වියෙහි පසුවූ ඒ මහතා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ හිටපු නියෝජ්‍ය අණදෙන නිලධාරියෙකු ලෙසද සේවය කර ඇත.
ගම්පොල මහර ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ මහතා, ගම්පොල නගර සභාවේ හිටපු පුරපති මේජර් පී. ඩී. පැල්පොල මහතාගේ පුත්‍රයාය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඉතාලියේ තානාපති ජෝර්ජ් පැල්පොල, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික දයා පැල්පොල මහත්වරුන්ගේ සොහොයුරා වන අතර, හිටපු කථානායක ආර්. එස්. පැල්පොල මහතා ඒ මහතාගේ පියාගේ සොහොයුරා වෙයි. මහා බ්‍රිතාන්‍යයේ රාජකීය පවුල සහ වතිකාන රාජ්‍යය සමඟද සමීප සබඳතා පැවැත්වූ පැල්පොල පරම්පරාවේ කීර්තිමත් නාමයක් සටහන් කළ ඒ මහතාගේ අවසන් කටයුතු ඊයේ පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කරන ලදී.
















