මාසික ඉන්ධන මිල සංශෝධනය අද (30) සිදු කිරීමට නියමිතව තිබීමත් සමඟ ඉන්ධන මිල ඉහළ යනු ඇතැයි පැතිර යන ආරංචි හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඩීසල් ලබාගැනීම සඳහා පෝලිම් ඇති වී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙරට ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බැවින් මෙලෙස පෝලිම් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර තිබෙනවා.
මේ අතර, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමෙන් ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා ඔටෝ ඩීසල් සහ කාර්මික ඩීසල් වෙනුවෙන් ඉදිරි මාස තුන සඳහා රුපියල් බිලියන 40.65ක සහනයක් ලබාදීමට රජය පසුගියදා අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව ඔක්තෝබර් සඳහා රුපියල් බිලියන 15ක්, නොවැම්බර් සඳහා රුපියල් බිලියන 13.5ක් සහ දෙසැම්බර් සඳහා රුපියල් බිලියන 12.15ක් වශයෙන් මෙම සහනය ලබාදීමට නියමිතයි.
මේ අතර, ඉන්ධන මිල සංශෝධනයේදී ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ඉහළ යාමේ සම්පූර්ණ බලපෑම පාරිභෝගිකයන් මත පැටවීමට රජය කටයුතු නොකරන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මීට පෙර සඳහන් කර තිබුණා.
















