ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ හත්වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ. IMF විධායක මණ්ඩලය එය අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 345ක මූල්‍ය පහසුකමක් ලබාගත හැකි අතර, එමඟින් මෙම වැඩසටහන යටතේ මෙතෙක් ලබාදී ඇති සමස්ත IMF මූල්‍ය සහාය ඩොලර් බිලියන 2.7ක් පමණ දක්වා ඉහළ යනු ඇත.
කෙසේ වෙතත්, විධායක මණ්ඩල අනුමැතියට පෙර 2027 අයවැය වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම අවශ්‍ය බව IMF සඳහන් කර තිබේ. 2026 දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.2කින් වර්ධනය වී ඇති අතර, එය අඛණ්ඩව වාර්තා වූ 11 වැනි වර්ධන කාර්තුව බවද IMF පවසයි. සැප්තැම්බර් මාසයේ වාර්ෂික උද්ධමනය සියයට 8ක් වූ අතර අගෝස්තු අවසානයේ දළ නිල විදේශ සංචිත ඩොලර් බිලියන 6.9ක් විය.
මැද පෙරදිග යුද්ධයේ කාලසීමාව සහ තීව්‍රතාව, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්ති සහ එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට තවදුරටත් අවදානම් පවතින බව IMF පෙන්වා දී තිබේ. එමෙන්ම ඉන්ධන මිල ජාත්‍යන්තර මිල වෙනස්වීම්වලට අනුව සකස් කිරීම, බලශක්ති මිලකරණයේ පිරිවැය ආවරණය වන ක්‍රමවේදය පවත්වාගෙන යාම, රාජ්‍ය ආදායම් ඉහළ නැංවීම, බදු පද්ධතිය කාර්යක්ෂම කිරීම සහ දූෂණ විරෝධී නීතිමය රාමුව ශක්තිමත් කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද IMF අවධාරණය කර ඇත.














