තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි වැඩකටයුතු සඳහා වෙස්ට්මිනිස්ටර් ප්රජාතන්ත්රවාදී ආයතනයේ (WFD) සහාය ලබාගැනීම සහ තරුණ දේශපාලන සහභාගීත්වය හා නායකත්වය ශක්තිමත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම රැස්වීම පැවැත්වුණු අතර, ඊට වෙස්ට්මිනිස්ටර් ප්රජාතන්ත්රවාදී ආයතනයේ නියෝජිතයෝ ද එක්ව සිටියහ. එහිදී තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා එම ආයතනය මඟින් ලබාගත හැකි සහාය, පුහුණු අවස්ථා සහ තරුණ නායකත්ව සංවර්ධනය සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන්ම මැතිවරණවලින් පසුවද තරුණයින් අඛණ්ඩව දේශපාලන හා ප්‍රතිපත්ති සංවාද සමඟ සම්බන්ධ කර තබා ගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුණු අතර, තරුණයින් මුහුණ දෙන රැකියා විරහිතභාවය ඇතුළු සමාජ හා ආර්ථික ගැටලු විසඳීම සඳහා පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.














