මෙරට ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය මෙම වසරේ දෙවන කාර්තුවේදී සියයට 50 ක මට්ටම දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2021 වසරෙන් පසුව වාර්තා වූ ඉහළම අගය ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. නවතම දත්තවලට අනුව මෙරට සමස්ත රැකියා වියුක්ති අනුපාතය සියයට 4 ක මට්ටමේ ස්ථාවරව පවතියි. කෙසේ වෙතත්, මෙම සමස්ත සංඛ්‍යාලේඛන මගින් ක්ෂේත්‍ර කිහිපයක පවතින බරපතල අසමතුලිතතාවයන් ආවරණය වී ඇති බව පෙනී යයි.
විශේෂයෙන්ම, අපොස උසස් පෙළ හෝ ඊට වැඩි අධ්‍යාපනික සුදුසුකම් සහිත කාන්තාවන්ගේ රැකියා වියුක්ති අනුපාතය සියයට 9.6 ක් ලෙස සටහන් වන අතර, එය ජාතික රැකියා වියුක්ති අනුපාතය මෙන් දෙගුණයකටත් වඩා වැඩි අගයකි. එමෙන්ම එය සමාන අධ්‍යාපනික සුදුසුකම් සහිත පිරිමින්ගේ රැකියා වියුක්ති අනුපාතය මෙන් තෙගුණයකට ආසන්න අගයයක් ගනියි. තවද, මෙම කාර්තුව තුළ තරුණ රැකියා වියුක්තිය ද වර්ධනය වී ඇති අතර, පසුගිය මාස තුනට පෙර පැවැති සියයට 16.1 සිට සියයට 17.8 දක්වා එය ඉහළ ගොස් තිබේ.
මීට අමතරව, රැකියාවල නියුතු පිරිස් සේවයේ යෙදෙන කාලසීමාවන් හි ද අඩුවීමක් වාර්තා වේ. සතියකට පැය 40 ක් හෝ ඊට වැඩි කාලයක් සේවය කළ පිරිසගේ ප්‍රතිශතය පෙර කාර්තුවට සාපේක්ෂව ශීඝ්‍රයෙන් පහත වැටී ඇති අතර, රැකියාවක් තිබුණද කිසිදු පැයක් වැඩ නොකළ පුද්ගලයන්ගේ ප්‍රතිශතය දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව එම වාර්තා පෙන්වා දෙයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් බැහැරවීමේ දිගුකාලීන ප්‍රවණතාවක් ද මෙම දත්ත මගින් අනාවරණය වන අතර, මීට වසර පහකට පෙර සමස්ත රැකියාවලින් සියයට 27 ක් පමණ කෘෂිකර්මාන්තය නියෝජනය කළද, ශ්‍රමිකයන් කර්මාන්ත හා සේවා අංශ වෙත යොමු වීමත් සමඟ එය මේ වන විට සියයට 25 කට වඩා අඩු අගයක් දක්වා පහත වැටී ඇත.














