ජාත්‍යන්තර වෙළඳාම දේශපාලනික සහ ආර්ථික මෙවලමක් ලෙස වැඩිවැඩියෙන් භාවිත වන වර්තමාන ගෝලීය වාතාවරණය තුළ, යුරෝපා සංගමයට ආර්ථික වශයෙන් හානි සිදුකරන රටවලට එරෙහිව ක්ෂණිකව සහ දැඩිව ක්‍රියාමාර්ග ගත හැකි නව විශේෂ ආරක්ෂණ පියවරක් හඳුන්වා දෙන ලෙස ප්‍රංශය සහ ජර්මනිය යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටින බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
ඇමෙරිකාව විසින් පනවන ලද 301 වන වගන්තියට අයත් තීරුබදු හෝ චීනය විසින් තීරණාත්මක සංරචක සහ අමුද්‍රව්‍ය අපනයනය සීමා කිරීමට ගත් පියවරයන් තරම් බලවත් වෙළඳ මෙවලමක් යුරෝපා සංගමයට ද අවශ්‍ය බව ජර්මානු නිලධාරීන් පෙන්වා දෙයි. මෙම නව යෝජනාව කිසියම් නිශ්චිත රටක් ඉලක්ක කරගත්තක් නොවන නමුත්, වෙළඳපල කඩාදැමීම, පුළුල් ලෙස සහනාධාර ලබාදීම සහ විදේශීය විනිමය පරිවර්තනය කිරීම සීමා කිරීම වැනි අසමතුලිතතාවයන් මෙහිදී ප්‍රධාන වශයෙන් ඉලක්ක කෙරේ. බොහෝ යුරෝපීය නායකයින් චෝදනා කරන්නේ චීනය මෙවැනි වෙළඳපල කඩාකප්පල් කිරීම්වල නිරත වන බවයි.
පැවැත්වීමට නියමිත යුරෝපා සංගම් නායක සමුළුවට පෙර ප්‍රකාශයට පත් කරන ලද මෙම ප්‍රංශ-ජර්මානු ලේඛනයට අනුව, මෙවැනි අඛණ්ඩ වෙළඳපල අසමතුලිතතාවයන් හේතුවෙන් යුරෝපයේ කාර්මික පදනමට දැඩි තර්ජනයක් එල්ල වී ඇති අතර විශාල වශයෙන් රැකියා අහිමිවීමේ අවදානමක් ද මතු වී තිබේ. එබැවින්, යුරෝපීය කොමිසම විසින් රණාත්මක ද්‍රව්‍ය සහ සැපයුම් ලබාගැනීමේදී සමාගම් යම් එකම රටක් හෝ මූලාශ්‍රයක් මත පමණක් රඳා පැවැත්ම සීමා කිරීම සහ අසාධාරණ ලෙස වෙළඳපල කොන්දේසි පාලනය කිරීමට උත්සාහ කරන රටවලට යුරෝපා සංගමයේ ඒකාබද්ධ වෙළඳපල වෙත ඇති ප්‍රවේශය සීමා කිරීම යන්න ඉක්මනින් යෝජනා කළ යුතු බව ප්‍රංශය සහ ජර්මනිය අවධාරණය කරයි.
යම් රටකට එරෙහිව මෙවැනි ක්ෂණික පියවරයන් සක්‍රිය කිරීමට යුරෝපීය කොමිසම ඉදිරිපත් කරන යෝජනාවක්, සාමාජික රටවල සුදුසුකම් ලත් බහුතරයකගේ විරුද්ධත්වයක් නැත්නම් කෙලින්ම සම්මත විය යුතු බවත්, දින කිහිපයක් ඇතුළත ඉතා ඉක්මනින් මෙම ක්‍රියාමාර්ග ගැනීමට කොමිසමට බලය තිබිය යුතු බවත් ජර්මානු නිලධාරීහු සඳහන් කරති. මෙහිදී අදහස් දක්වමින් ප්‍රංශ ජනාධිපති උපදේශකයෙකු සඳහන් කළේ, ඇතැම් වෙළඳ පාර්ශ්වකරුවන් සමඟ පවතින අසමතුලිතතාවයන් තවදුරටත් දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බැවින්, ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් යුරෝපය තුළ පවතින “ළදරු සහ අන්ධ විශ්වාසය” අවසන් කිරීමට කාලය පැමිණ ඇති බවයි.














