පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් සිය දැඩි කණගාටුව සහ විරෝධය පළ කර තිබේ.
භික්ෂුවකගේ පැවිදි භාවය අහෝසි කිරීම හෝ සිවුර ඉවත් කිරීම හුදෙක් රාජ්‍ය පරිපාලනයට හෝ බන්ධනාගාර රෙගුලාසිවලට සීමා වූ කරුණක් නොවන බවත්, එය ගරුතර මහා සංඝරත්නයට අයත් ශාසනික කර්තව්‍යයක් බවත් අදාළ ලිපිය මඟින් පෙන්වා දී ඇත. ඥානසාර හිමියන්ගේ භික්ෂුත්වය පාරාජිකා ආපත්තියකට පත්ව ඇති බවට හෝ සිවුරෙන් නෙරපිය යුතු බවට සංඝ සභාව කිසිදු තීරණයක් ගෙන නොමැති පසුබිමක, බන්ධනාගාර පරිපාලනය මෙგොඩට කටයුතු කිරීම බෞද්ධ සම්ප්‍රදායට සිදුවන බලවත් හානියක් බව උන්වහන්සේලා අවධාරණය කරති. බන්ධනාගාර නියෝග මාලාවේ සහ එක්සත් ජාතීන්ගේ සම්මත රීතිවලට අනුව භික්ෂූන් වහන්සේලාට අදාළ සිවිල් ඇඳුම සිවුර වන බැවින්, ඉදිරි අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී අඛණ්ඩව සිවුරෙන් පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස මහා නාහිමිවරුන් එමඟින් වැඩිදුරටත් ඉල්ලා සිටී.















