පාකිස්තානයේ සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ ආධාරකරුවන් දහස් ගණනක් විරෝධතා පාගමනකට එක්ව සිටිති.
ඉම්රාන් ඛාන්ගේ පාකිස්තාන තරීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය විසින් සංවිධානය කර ඇති මෙම පාගමන ඔක්තෝබර් 8 වැනිදා පස්වැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් වයඹදිග පාකිස්තානයේ පෙෂාවර් නගරයට ළඟා වී තිබේ.
ඛයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ මහ ඇමති සොහේල් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුත් මෙම පාගමන ඔක්තෝබර් 4 වැනිදා ලක්කි මර්වාට් ප්‍රදේශයෙන් ආරම්භ කර දිස්ත්‍රික්ක කිහිපයක් පසුකර ගමන් කර ඇත. පෙෂාවර්හිදී ආධාරකරුවන් අමතමින් ඔහු ඉම්රාන් ඛාන් නිදහස් කර ගැනීමේ අරගලය අත් නොහරින ලෙස ඉල්ලා තිබේ.
පාගමන මුලින් ඉස්ලාමාබාද් නගරය වෙත ගමන් කිරීමට සැලසුම් කර තිබුණද, එහි ගමන් මාර්ගය කිහිප වතාවක් වෙනස් කර තිබේ. පෙළපාලිය ස්වාබි ප්‍රදේශයට ළඟා වූ පසු මීළඟ ක්‍රියාමාර්ගය ප්‍රකාශයට පත් කරන බව අෆ්රිඩි සඳහන් කර ඇත.
මේ අතර, විරෝධතාකරුවන් පෙෂාවර් නගරයට ළඟා වන අවස්ථාවේ නගරයේ ඇතැම් ප්‍රදේශවල ජංගම දුරකථන සහ අන්තර්ජාල සේවා තාවකාලිකව අත්හිටුවා තිබේ. ආරක්ෂක පියවරක් ලෙස ඉහළ බලධාරීන්ගේ නියෝග මත එම අත්හිටුවීම සිදු කළ බව පාකිස්තාන විදුලි සංදේශ අධිකාරියේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.
විරෝධතා හේතුවෙන් අෆ්රිඩිට එරෙහිව නීතිමය අභියෝගයක් ද මතුව තිබේ. විරෝධතාව ආරම්භ වන ස්ථානයට යාම සඳහා රජයේ හෙලිකොප්ටරයක් භාවිත කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පෙෂාවර් මහාධිකරණය ඔහුගෙන් කරුණු විමසා ඇත. දේශපාලන කටයුතු සඳහා රාජ්‍ය සම්පත් භාවිත කිරීම සම්බන්ධයෙන් පෙර නිකුත් කර තිබූ අධිකරණ නියෝගයක් උල්ලංඝනය වී ඇත්ද යන්න එහිදී අවධානයට ලක්ව තිබේ.
2018 සිට 2022 දක්වා පාකිස්තානයේ අගමැති ධුරය දැරූ ඉම්රාන් ඛාන් 2022දී පාර්ලිමේන්තු විශ්වාසභංග ඡන්දයකින් බලයෙන් ඉවත් කෙරුණු අතර, 2023 අගෝස්තු මාසයේ සිට සිරගතව සිටියි. ඔහුගේ පක්ෂය ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා සිටින අතර, ඔහුට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ද අභියෝගයට ලක් කරයි.
PTI පක්ෂය ඔක්තෝබර් 10 වැනිදා මර්දාන්හිදීත්, ඔක්තෝබර් 11 වැනිදා ස්වාබිහිදීත් තවදුරටත් රැස්වීම් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.















