වැලිමඩ, දඹවින්න ප්රදේශයේදී නිසි රියදුරු බලපත්රයක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 60,000ක දඩයක් නියම කර තිබේ.
වැලිමඩ පොලිසියේ රථවාහන අංශය සිදුකළ පරීක්ෂාවකදී මෙම පුද්ගලයා හඳුනාගෙන ඇති බව *දිවයින* වාර්තා කරයි.
අදාළ යතුරුපැදියේ ලියාපදිංචි තොරතුරු මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂා කිරීමේදී, එහි ලියාපදිංචි හිමිකරු කුරුණෑගල, කුලියාපිටිය ප්රදේශයේ පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත.
පොලිසිය එම පුද්ගලයා සම්බන්ධ කරගත් අවස්ථාවේදී, එම ලියාපදිංචි අංකයට අදාළ යතුරුපැදියක් තමන් සන්තකයේ ඇති බව ඔහු පවසා තිබේ. ඒ අනුව කුලියාපිටියේ තිබූ යතුරුපැදියද පොලිස් භාරයට ගෙන පරීක්ෂා කර ඇත.
පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ලියාපදිංචි තොරතුරු ව්යාජ ලෙස භාවිත කරමින් එකම මාදිලියේ තවත් යතුරුපැදියක් සකස් කර භාවිත කර ඇති බවට සැකයක් පවතින බවයි. එම යතුරුපැදිය සඳහා මූල්ය සමාගමකින් මූල්ය පහසුකම් ලබාගෙන ඇති බවද වාර්තාවේ සඳහන් වේ.
සිද්ධියට අදාළ යතුරුපැදි අලෙවිය සහ ව්යාජ ලියාපදිංචි තොරතුරු භාවිත කිරීම සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















