හැටන් කලාප අධ්යාපන කාර්යාලයේ සේවකයන් පිරිසක් අද (12) උදෑසන සේවා කටයුතුවලින් බැහැරව කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
කාර්යාලය තුළ ප්රමාණවත් ඉඩකඩ සහ මූලික පහසුකම් නොමැති බව විරෝධතාකරුවෝ පවසති. වැසි දිනවලදී ගොඩනැගිල්ලට ජලය කාන්දු වීමෙන් පරිගණක පද්ධතිවලට හානි සිදුවන බවත්, පරිගණක ඉවත් කර නැවත සවි කිරීමේදී විදුලි කාන්දුවීම් හේතුවෙන් ජීවිත අවදානමකට මුහුණදීමට සිදුවන බවත් ඔවුහු සඳහන් කළහ.
කාර්යාලය යටතේ සිංහල හා දෙමළ මාධ්ය පාසල් 140ක් පමණ පවතින අතර, ගුරුවරුන් 3,500කට ආසන්න පිරිසකගේ වැටුප් සකස් කිරීම ඇතුළු කටයුතු සඳහා නිලධාරීන් හා සේවකයන් 70කට ආසන්න පිරිසක් සේවය කරන බව විරෝධතාකරුවෝ කියා සිටියහ.
එමෙන්ම, කාර්යාලයේ සේවය කරන කාන්තාවන් 35කට ආසන්න පිරිසකට භාවිත කිරීමට ඇත්තේ එක් වැසිකිළියක් පමණක් බවත්, සේවා ලබාගැනීමට පැමිණෙන ගුරුවරුන් හේතුවෙන් කාර්යාලය තුළ තදබදයක් ඇතිවන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
නව කලාප අධ්යාපන කාර්යාලයක් ඉදිකිරීම සඳහා ප්රතිපාදන වෙන් කර තිබුණද, මූලික සැලසුම් කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බව විරෝධතාකරුවෝ පවසති. එබැවින් දැනට වෙන් කර ඇති ප්රතිපාදන යොදාගෙන හෝ පවතින අඩුපාඩු සපුරාලීමට පියවර ගන්නා ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීරආරච්චි මහතා සඳහන් කර ඇත්තේ, හැටන් නගරයට ආසන්නව නව කලාප අධ්යාපන කාර්යාලයක් ඉදිකිරීම සඳහා රජය රුපියල් මිලියන 60ක ප්රතිපාදන වෙන් කර ඇති බවයි.
ඒ සඳහා සුදුසු ඉඩමක් හඳුනාගෙන ඒ පිළිබඳව දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුව දැනුවත් කරන ලෙස කලාප අධ්යාපන අධ්යක්ෂවරයාට සහ කලාපයේ විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
















