ඉදිරි කාලයේදී වර්ෂාපතනය ඉහළ යාමේ අවදානම සැලකිල්ලට ගනිමින්, වැසි ජලය විධිමත්ව බැස යාම තහවුරු කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති කඩිනමින් පිරිසිදු කර ඉදිරි සති දෙක ඇතුළත එම කටයුතු අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
අද (13) නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම උපදෙස් ලබාදී ඇත. මෙම කටයුතු විශේෂ කාර්යයක් ලෙස සලකා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත්, ඉන් අනතුරුව අඛණ්ඩ නඩත්තු කටයුතු පවත්වාගෙන යන ලෙසත් ඇය දැනුම් දී තිබේ.
රැස්වීමේදී ඇළ මාර්ග හා කාණු පද්ධති පිරිසිදු කිරීමේදී මුහුණ දෙන තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය සහ සැලසුම් හා ඇස්තමේන්තු සකස් කිරීමේ ගැටලු පිළිබඳවද සාකච්ඡා කර ඇත.
එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයේ 2026 වසරේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය, ආපදා අවම කිරීම, ප්‍රජා සවිබල ගැන්වීම සහ ක්‍රීඩාංගණ සංවර්ධනය ඇතුළු වැඩසටහන් පිළිබඳවද අවධානය යොමු වී තිබේ. ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 1,117.53ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවද රැස්වීමේදී සඳහන් විය.














