ඉන්දුනීසියාවේ බෝර්නියෝ දූපත ඇතුළු ප්‍රදේශ රැසක පැතිර යන දරුණු ලැව්ගිනි හේතුවෙන් හටගත් විෂ සහිත දුමාරය සිංගප්පූරුව, මැලේසියාව සහ පිලිපීනය දක්වා ද පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ‘Nusantara Atlas’ චන්ද්‍රිකා දත්ත වේදිකාවට අනුව මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා ඉන්දුනීසියාවේ හෙක්ටයාර මිලියන 1.9ක පමණ භූමි ප්‍රමාණයක් මෙම ලැව්ගිනිවලින් විනාශ වී ඇති අතර, එයින් හෙක්ටයාර මිලියනයකට ආසන්න ප්‍රමාණයක් සැප්තැම්බර් මාසයේදී පමණක් විනාශ වී තිබීම විශේෂත්වයකි.
ඉන්දුනීසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන්නේ ඔක්තෝබර් මැද භාගය වන විට දිගුකාලීන කැස්ස සහ උග්‍ර ශ්වසන ආසාදනවලින් පෙළුණු පුද්ගලයන් 277,000කට අධික පිරිසක් වාර්තා වී ඇති බවයි. එම පිරිස අතර වයස අවුරුදු පහට අඩු කුඩා දරුවන් 62,000කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර, ලැව්ගිනි දුමාරයේ අඩංගු සියුම් අංශු පෙනහළුවලට ගැඹුරින් ඇතුළුවීම හේතුවෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු මතු විය හැකි බව විශේෂඥයෝ අනතුරු අඟවති. විශේෂයෙන් ළමුන්, වැඩිහිටියන් සහ ගර්භණී කාන්තාවන් දැඩි අවදානමකට මුහුණ දී සිටින අතර, දුමාරය තීව්ර වීම නිසා ඇතැම් ප්‍රදේශවල පාසල් දරුවන්ට නිවෙස් තුළට වී අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලැබීමට සිදුව තිබේ. ගොවීන් සහ දෛනික වැටුප් ලබන සේවකයන් ඇතුළු බොහෝ පිරිසකගේ ජීවනෝපාය ද මෙම තත්ත්වය නිසා දැඩි ලෙස අඩාල වී ඇත.
ලැව්ගිනි පාලනය කිරීම සඳහා පුද්ගලයන් 60,000කට අධික පිරිසක් සහ ගුවනින් ජලය හෙළීමේ ක්‍රියාමාර්ග ඇතුළු පුළුල් මෙහෙයුම් ක්‍රියාත්මක කළද, පවතින දැඩි නියඟය සහ ජල හිඟය හේතුවෙන් ගිනි නිවීමේ කටයුතු අතිශයින් දුෂ්කර වී තිබේ. මෙවර ඇතිවූ සුපර් එල් නිනෝ (Super El Niño) තත්ත්වය මෙම නියඟය තීව්ර කිරීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවත්, මීට පෙර ලැව්ගිනි වාර්තා නොවූ ප්‍රදේශ කරාද ගින්න පැතිර යාමෙන් බලධාරීන් දැඩි අසීරුතාවකට මුහුණ දී සිටින බවත් වාර්තා වේ.
















