ජාතික මහා ක්රීඩා උලෙළේ බර ඉසිලීමේ ඉසව්වේදී දක්ෂතා අතරට පිවිසි ක්රීඩක ක්රීඩිකාවන් නව ශ්රී ලංකා වාර්තා 11ක් බිහි කිරීමට සමත්ව තිබේ. තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශය හා ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ථ ක්රීඩාංගණයේදී මෙම තරගාවලිය සංවිධානය කර තිබිණි.
තරගාවලියේ අවසාන දිනයේදී උතුරු මැද පළාතේ යු.ආර්.ආර්. ජයසේන සහ දකුණු පළාතේ චතුරිකා ප්රියන්ති වාර්තා 3 බැගින් බිහි කිරීම විශේෂ කැපී පෙනෙන සිදුවීමක් විය. ඒ අනුව පිරිමි කිලෝග්රෑම් 94 බර පන්තියෙන් තරග කළ යු.ආර්.ආර්. ජයසේන ස්නැච්, ක්ලීන් ඇන්ඩ් ජර්ක් සහ සමස්ත බර යන අංශවලින් නව වාර්තා පිහිටුවමින් සමස්ත බර කිලෝග්රෑම් 309ක් ඔසවා ඇත. එසේම කිලෝග්රෑම් 86ට වැඩි කාන්තා බර පන්තියෙන් තරග කළ චතුරිකා ප්රියන්ති ද ස්නැච්, ක්ලීන් ඇන්ඩ් ජර්ක් සහ සමස්ත බර යන අංශවලින් වාර්තා 3ක් අලුත් කිරීමට සමත් වූවාය.
මීට අමතරව, උතුරු මැද පළාත නියෝජනය කළ උපමාලිකා රවිහාරි ගුණතිලක වාර්තා දෙකකට හිමිකම් කිවූ අතර, බස්නාහිර පළාතේ දිනූෂා හංසනී ගෝමස්, වයඹ පළාතේ ඉන්දික දිසානායක සහ චින්තන ගීතාල් විදානගේ ද මෙහිදී නව වාර්තා පිහිටුවීමට සමත් වූහ. මෙහිදී පිරිමි කිලෝග්රෑම් 60 බර පන්තියෙන් රන් පදක්කම දිනාගත් වයඹ පළාතේ වයි.ඩී.අයි. කුමාර තරගාවලියේ දක්ෂතම ක්රීඩකයා ලෙස සම්මාන දිනාගත් අතර, උතුරු මැද පළාතේ උපමාලිකා රවිහාරි ගුණතිලක දක්ෂතම ක්රීඩිකාව ලෙස සම්මාන හිමිකර ගත්තාය.
තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව වයඹ පළාතට හිමි වූ අතර එහි අනුශූරතාව උතුරු මැද පළාතට හිමි විය. කාන්තා ශූරතාව උතුරු මැද පළාත විසින් දිනා ගත් අතර, සම අනුශූරතාව දකුණු සහ වයඹ පළාත් වෙත හිමි විය.
















