චීනයේ විදුලි බලයෙන් ක්රියාත්මක වන මෝටර් රථ නිෂ්පාදකයින් අතර පෙරමුණ ගන්නා BYD සමාගම විසින් තායිලන්තයේ සිය පළමු විදත් මෝටර් රථ කර්මාන්තශාලාව නිල වශයෙන් ආරම්භ කර තිබේ. නිව්යෝර්ක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරන ආකාරයට, තායිලන්තයේ නැඟෙනහිර වෙරළාසන්නයේ පිහිටි එරට ප්රධාන මෝටර් රථ නිෂ්පාදන කේන්ද්රස්ථානය වන රයෝංග් ප්රාන්තයේ ඉදි කර ඇති මෙම කර්මාන්තශාලාව චීන මායිමෙන් පිටත පිහිටුවන ලද BYD ආයතනයේ පළමු විදේශීය කර්මාන්තශාලාව වීම විශේෂත්වයකි.
දශක ගණනාවක් පුරා තායිලන්තයේ මෝටර් රථ වෙළෙඳපොළේ ඒකාධිකාරය දැරූ ජපානය අභිබවා යමින් චීන මෝටර් රථ නිෂ්පාදකයින් මේ වන විට රයෝංග් ප්රාන්තයේ මෙන්ම සමස්ත තායිලන්තයේම නිෂ්පාදන ආධිපත්යය තහවුරු කර ගනිමින් සිටියි. එරට විදත් මෝටර් රථ වෙළෙඳපොළෙන් 85%ක පමණ ප්රමාණයක් මේ වන විට පාලනය කරනු ලබන්නේ චීන සමාගම් විසින් වන අතර, පාපන්දු ක්රීඩාංගණ 180ක පමණ විශාලත්වයකින් යුත් මෙම අතිවිශාල බීවයිඩී කර්මාන්තශාලා සංකීර්ණය එම කර්මාන්තයේ දැවැන්ත පෙරළියක් සනිටුහන් කර ඇත. මීට අමතරව, මීට පෙර ජෙනරල් මෝටර්ස් සතු වූ විශාල කර්මාන්තශාලාවක හිමිකාරීත්වය ද මේ වන විට චීනය විසින් අත්පත් කරගෙන තිබේ.
මෙම තත්ත්වය හමුවේ තායිලන්තයේ ජපාන මෝටර් රථ කර්මාන්තය දැඩි අර්බුදකාරී මුහුණුවරකට ලක්ව ඇති අතර, 2024 සහ 2025 වර්ෂවලදී සුබාරු සහ සුසුකි යන ප්රධාන පෙළේ සමාගම් තායිලන්තයේ පිහිටි සිය කර්මාන්තශාලා සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන තිබේ. ඊට අමතරව හොන්ඩා සහ නිසාන් වැනි ජපාන සමාගම් ද තායිලන්තයේ තම නිෂ්පාදන ධාරිතාව අවම කර ගැනීමට කටයුතු කර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් පෙන්වා දී ඇත.
















