ප්රංශය තුළ උත්සන්න වී ඇති දැඩි ජීවන වියදම් අර්බුදය සහ බලශක්ති හිඟයට විසඳුම් සෙවීමේ අරමුණින් ප්රංශ ජනාධිපති ඉමනුවෙල් මැක්රොන් සෞදි අරාබියේ හදිසි සංචාරයක නිරත වී තිබේ. රියාද් නුවර අල්-යමාමා මාලිගයේදී සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් මහතා හමුවූ ප්රංශ ජනාධිපතිවරයා, බලශක්ති සුරක්ෂිතතාව, ආරක්ෂාව සහ ද්විපාර්ශ්වික යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇති බව සෞදි පුවත් සේවය වාර්තා කරයි.
යමෙන්හි හූති කැරලිගරුවන් විසින් සෞදි අරාබියට එල්ල කරන ප්රහාර හමුවේ එරටට සිය දැඩි සහයෝගය ප්රකාශ කිරීම සඳහා මෙම අනපේක්ෂිත සංචාරය සිදු කර ඇති අතර, එහිදී ප්රංශයට අවශ්ය අමතර ඩීසල් තොග අවශ්ය වන තාක්කල් අඛණ්ඩව සැපයීමට සෞදි අරාබිය එකඟතාව පළ කර ඇති බව ප්රංශ ජනාධිපති කාර්යාලය තහවුරු කර තිබේ. ඇමෙරිකා-ඉරාන ගැටුම් සහ හෝර්මුස් සමුද්ර සන්ධිය අවහිර වීම හේතුවෙන් ගෝලීය බලශක්ති මිල ඉහළ යෑම නිසා ප්රංශය තුළ මෑතකදී දැඩි විරෝධතා සහ නොසන්සුන්තා හටගෙන ඇති පසුබිමක මෙම බලශක්ති ගිවිසුම් අත්සන් කර තිබීම විශේෂත්වයකි.
මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්යය සහ බහරේන් රාජ්යය සමඟ ද මෙවැනිම බලශක්ති ගිවිසුම්වලට එළඹ ඇති ප්රංශය, මේ වන විට මසකට මෙට්රික් ටොන් 295,000ක ඩීසල් සැපයුමක් තහවුරු කරගෙන ඇති අතර, එය එරට සමස්ත බලශක්ති පරිභෝජනයෙන් 10%කට අධික ප්රමාණයකි. සෞදි අරාබියේ රතු මුහුදේ යන්බු වරාය ආරක්ෂා කිරීම සඳහා ප්රංශය සිය හමුදා වත්කම් ද යොමු කිරීමට පියවර ගෙන ඇති අතර, කලාපීය ආරක්ෂාව සහ බලශක්ති මාර්ග සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මෙම ක්රියාමාර්ග ගෙන තිබේ.
















