ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති පළමු බිම්ස්ටෙක් (BIMSTEC) ස්වදේශ කටයුතු අමාත්යවරුන්ගේ හමුවට ශ්රී ලංකාව නියෝජනය කරමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා සහභාගී වී ඇති අතර, එහිදී බෙංගාල බොක්ක කලාපයේ පොදු ආරක්ෂක අභියෝගවලට මුහුණ දීමට කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ශ්රී ලංකාවේ කැපවීම නැවත තහවුරු කර තිබේ. ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්ය අමිත් ෂා මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම සමුළුව සඳහා බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්රී ලංකාව සහ තායිලන්තය යන රටවල නියෝජිතයෝ එක්ව සිටියහ.
කලාපීය ආරක්ෂාව සහ නීතිය බලාත්මක කිරීමේ ක්ෂේත්රවල සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා මූලෝපායික දිශානතියක් සපයමින් මෙම සමුළුවේදී ‘දිල්ලි ප්රකාශනය’ සම්මත කරගෙන ඇති අතර, ත්රස්තවාදය, ප්රචණ්ඩකාරි අන්තවාදය, මත්ද්රව්ය ජාවාරම, මිනිස් ජාවාරම, මුදල් විශුද්ධිකරණය, සයිබර් අපරාධ සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව කලාපීය ක්රියාමාර්ග ශක්තිමත් කිරීමට එහිදී එකඟතාව පළ කර තිබේ. අමාත්ය මට්ටමේ හමුවට පෙර පැවති ස්වදේශ කටයුතු අමාත්යාංශවල ජ්යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්රථම හමුවේදී මිනිස් ජාවාරම, මුදල් විශුද්ධිකරණය, ත්රස්තවාදයට අරමුදල් සැපයීමට එරෙහි වීම, මත්ද්රව්ය පාලනය සහ ආපදා කළමනාකරණය පිළිබඳ ප්රගති සමාලෝචනයක් සිදු කර ඇති බවද වාර්තා වේ.
සමුළුව අමතමින් අමාත්ය ආනන්ද විජේපාල මහතා පෙන්වා දී ඇත්තේ තිරසර ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ආරක්ෂාව අත්යවශ්ය පදනම වන බවත්, ජනතාවට බියෙන් තොරව ජීවත් වීමට, ආරක්ෂිතව ගමන් බිමන් යෑමට සහ සිය ව්යාපාර කටයුතු සිදු කිරීමට සුරක්ෂිත පරිසරයක් පැවතිය යුතු බවත්ය. දේශසීමා හරහා සිදුවන මත්ද්රව්ය ජාවාරමට එරෙහිව ක්රියාත්මක වන ‘රටම එකට’ ජාතික මත්ද්රව්ය නිවාරණ වැඩසටහන පිළිබඳවද අමාත්යවරයා මෙහිදී කරුණු පැහැදිලි කර ඇති අතර, සංවිධානාත්මක අපරාධ, සයිබර් අපරාධ, මූල්ය අපරාධ, මිනිස් ජාවාරම, නීතිවිරෝධි සංක්රමණ සහ සාගරික මාර්ග ඔස්සේ සිදු වන නීතිවිරෝධි කටයුතු වැළැක්වීමට බිම්ස්ටෙක් සාමාජික රටවල් අතර කාලෝචිත තොරතුරු හුවමාරුව සහ ආයතනික සහයෝගීතාව අත්යවශ්ය බව අවධාරණය කර තිබේ.














