ශ්රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා පුළුල් කරගැනීමේ අරමුණින් සංවිධානය කරන ලද ‘Sri Lanka Connect-2026’ ව්යාපාරික හමුව ජකර්තා නුවර JW Marriott හෝටල් පරිශ්රයේදී සාර්ථකව පවත්වා තිබේ. ශ්රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශයේ ආර්ථික රාජ්යතාන්ත්රික වැඩසටහන යටතේ “වෙළෙඳපොළ යා කිරීම, වර්ධනය අත්කර ගැනීම” යන තේමාව යටතේ මෙම සංසදය සංවිධානය කර තිබූ අතර, ඊට දෙරටේ රාජ්ය නිලධාරීන්, ව්යාපාරික නායකයන් සහ මාධ්ය නියෝජිතයන් ඇතුළු 120කට අධික පිරිසක් එක්ව සිටියහ.
ඉන්දුනීසියාවේ සහ ASEAN හි ශ්රී ලංකා තානාපති ශෂිකලා ප්රේමවර්ධන මහත්මියගේ පිළිගැන්ීමේ කතාවෙන් ආරම්භ වූ මෙම සමුළුවේදී සමුද්රීය යටිතල පහසුකම්, ලොජිස්ටික්ස්, තොරතුරු තාක්ෂණය, කෘෂිකර්මාන්තය, ඖෂධ සහ බලශක්ති ගවේෂණ ඇතුළු ක්ෂේත්ර රැසක පවතින ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කෙරිණි. දෙරටේ ආයතනික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ලංකා වාණිජ මණ්ඩලය සහ ඉන්දුනීසියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (KADIN) අතර අවබෝධතා ගිවිසුමක් (MoU) ද මෙහිදී නිල වශයෙන් හුවමාරු කරගත් අතර, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය ඇමැති අරුන් හේමචන්ද්ර මහතා සහ ඉන්දුනීසියානු ආයෝජන නියෝජ්ය ඇමැති නුරුල් ඉච්වාන් මහතා අතථ්ය තාක්ෂණය ඔස්සේ ප්රධාන දේශන පවත්වමින් ඉන්දුනීසියානු ආයෝජකයන්ට ශ්රී ලංකාව වෙත පැමිණෙන ලෙස ඇරයුම් කළහ.
















