යාචකයන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමේ වැඩපිළිවෙළ පුළුල් කිරීමට රජය පියවර ගන්නා බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්රික් මන්ත්රී අජිත් ගිහාන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා මෙම බව සඳහන් කළේය.
යාචකයන් පුනරුත්ථාපනය කිරීම සඳහා දකුණු පළාතේ රිදියගම පුනරුත්ථාපන මධ්යස්ථානය දැනට ක්රියාත්මක වන අතර, මේ වන විට එහි ධාරිතාව 600ක් පමණ වන බවත් එම ධාරිතාව සම්පූර්ණ වී ඇති බවත් අමාත්යවරයා පෙන්වා දුන්නේය. ඒ හේතුවෙන්, අලුතින් ව්යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ලබන වසරේදී එහි ධාරිතාව වැඩි කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්රකාශ කළේය.
දහතුන්වැනි ආණ්ඩුක්රම ව්යවස්ථාව ප්රකාරව යාචක ගැටළුව අදාළ වන්නේ පළාත් සභාවලට වන බැවින්, පළාත් සභාවන්හි පවතින සමාජ සේවා අංශ මඟින් නිත්යානුකූලව ඊට අදාළව කටයුතු කළ යුතු බවද අමාත්යවරයා කීය. සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්රියාත්මක වන දකුණු පළාතේ රිදියගම රඳවා තබා ගැනීමේ මධ්යස්ථානය වෙත අධිකරණමය ක්රියාදාමයක් ඔස්සේ යොමු කෙරෙන යාචකයන් රඳවා තබා, පුනරුත්ථාපන කටයුතු සිදු කර නැවත සමාජයට මුදා හැරීම අඛණ්ඩව සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.














