සෞදි අරාබියට එල්ල වන හවුති ඩ්රෝන සහ මිසයිල ප්රහාර අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන්, එරට රඳවා සිටින අත්යවශ්ය නොවන අමෙරිකානු රාජ්යතාන්ත්රිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට වහාම එම රටින් පිටවන ලෙස අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ. සෞදි අරාබියේ පවතින දැඩි ආරක්ෂක අවදානම් තත්ත්වය සලකා බලමින් රියාද් නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින්ද විශේෂ ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
යේමනයේ උද්ගත වී ඇති සිවිල් යුද තත්ත්වය සහ සෞදි අරාබිය ඇතුළු මිත්ර හමුදා විසින් එරට හවුති ඉලක්ක වෙත ගුවන් ප්රහාර එල්ල කිරීමත් සමඟ දෙපාර්ශ්වය අතර ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇත. පෙරේදා දිනක පමණක් හවුති කැරළිකරුවන් අවස්ථා තුනකදී සෞදි අරාබියට ප්රහාර එල්ල කර ඇති අතර, එම ප්රහාරවලින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර, හවුති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ නෞකා බාබ් අල් මැන්ඩේබ් සමුද්ර සන්ධිය හරහා යාත්රා කිරීම අවහිර කර ඇති අතර, මෙම තත්ත්වය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.














