ශ්රී ලංකාවේ භාවිතයෙන් ඉවත් කරන විදුලි වාහන බැටරි එකතු කිරීම, ගබඩා කිරීම, ප්රතිචක්රීකරණය සහ ආරක්ෂිතව බැහැර කිරීම සම්බන්ධයෙන් ජාතික මට්ටමේ කළමනාකරණ ක්රමවේදයේ අඩුපාඩු පවතින බව ජාතික විගණන කාර්යාලයේ විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය කර තිබේ.
ශ්රී ලංකාවේ විදුලි වාහන භාවිතය, භාවිතයෙන් පසු කළමනාකරණය සහ පාරිසරික බලපෑම් පිළිබඳව නිකුත් කළ මෙම වාර්තාවට අනුව, බැටරි එකතු කිරීම, ඒවායේ ගමන් මඟ නිරීක්ෂණය කිරීම සහ පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සඳහා ඒකාබද්ධ ක්රමවේදයක් ක්රියාත්මක කිරීමේ අවශ්යතාව පවතී.
විගණන ක්ෂේත්ර පරීක්ෂණවලදී ඇතැම් භාවිත කළ බැටරි විවෘත ස්ථානවල ගබඩා කිරීම සහ විශාල බෑග්වල ඇසුරුම් කිරීම වැනි ක්රමවේද පිළිබඳව ද අවධානය යොමු කර තිබේ. එවැනි ක්රියාමාර්ග සේවක ආරක්ෂාවට මෙන්ම පරිසරයට ද අවදානම් ඇති කළ හැකි බව වාර්තාව පෙන්වා දෙයි.
තවද, බැටරි ගබඩා කිරීම හා ප්රවාහනය සඳහා ප්රමිතිගත ක්රියාපටිපාටි, විධිමත් බැටරි ආපසු භාරගැනීමේ ක්රමවේදයක් සහ පුළුල් නිරීක්ෂණ පද්ධතියක් තවදුරටත් ශක්තිමත් කළ යුතු බව එහි සඳහන් වේ.
කෙසේ වෙතත්, භාවිතයෙන් ඉවත් කරන විදුලි වාහන බැටරි මහා පරිමාණයෙන් බැහැර කිරීමේ අවධියකට ශ්රී ලංකාව තවමත් පැමිණ නොමැති බව ද වාර්තාව පෙන්වා දෙයි.
2026 අංක 15 දරන ජාතික පාරිසරික (සංශෝධන) පනත මගින් අපද්රව්ය කළමනාකරණය සහ නිෂ්පාදක වගකීම් සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කර තිබේ. එම ප්රතිපාදන ඵලදායී ලෙස ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය රෙගුලාසි, ක්රියාපටිපාටි සහ අධීක්ෂණ ක්රමවේද සකස් කිරීම වැදගත් වේ.
ඉදිරියේදී භාවිතයෙන් ඉවත් කරන ලිතියම්-අයන බැටරි ප්රමාණය වැඩි විය හැකි බැවින්, පවතින අඩුපාඩු කඩිනමින් විසඳීම පරිසර ආරක්ෂාව සහ සේවක සුරක්ෂිතතාව සඳහා අත්යවශ්ය බව වාර්තාවෙන් අවධාරණය කෙරේ.
















