කුඩා ටිරැනෝසෝරස් රෙක්ස් (T. rex) ඩයිනෝසෝරයෙකුගේ සැකිල්ලක් ලෙස දීර්ඝ කාලයක් වරදවා හඳුනාගෙන තිබූ නැනෝටිරැනස් (Nanotyrannus) ඩයිනෝසෝරයාගේ සැකිල්ලක් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවති Sotheby’s වෙන්දේසියේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 47.3කට අලෙවි වී තිබේ. මේ බව BBC පුවත් සේවය වාර්තා කරයි.
‘ජෝඩි’ (Jodi) ලෙස නම් කර ඇති මෙම සැකිල්ල උසින් අඩි 10ක් (මීටර් 3ක්) පමණ වන අතර, එය වෙනම ඩයිනෝසෝර ගණයකට අයත් බව පර්යේෂකයන් තහවුරු කර වසරකට පමණ පසු මෙලෙස වෙන්දේසි කර තිබේ.
ක්රිටේසියස් යුගයේ අවසාන භාගයට අයත් මෙම මාංශ භක්ෂක ඩයිනෝසෝර සැකිල්ල මුලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 9කට ආසන්න මුදලකට අලෙවි වනු ඇතැයි තක්සේරු කර තිබුණි. කෙසේ වෙතත්, ලංසුකරුවන් හයදෙනෙකු අතර මිනිත්තු 12ක් පුරා පැවති තරගකාරී ලංසු තැබීමකින් අනතුරුව එහි මිල ඩොලර් මිලියන 47.3ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව, ‘ජෝඩි’ ලොව වෙන්දේසියකදී වැඩිම මිලකට අලෙවි වූ ඩයිනෝසෝර සැකිලි අතරින් දෙවැනි ස්ථානයට පත්ව තිබේ. පළමු ස්ථානය හිමිව ඇත්තේ පසුගිය ජූලි මාසයේදී ඩොලර් මිලියන 50.1කට අලෙවි වූ ‘ගස්’ (Gus) නමැති T. rex සැකිල්ලටය. 2024 ජූලි මාසයේදී ඩොලර් මිලියන 44.6කට අලෙවි වූ ‘ඇපෙක්ස්’ (Apex) නමැති ස්ටෙගෝසෝරස් සැකිල්ල තෙවැනි ස්ථානයේ පසුවේ.
Sotheby’s ආයතනය සඳහන් කරන්නේ ‘ජෝඩි’ සැකිල්ල අස්ථි කොටස් 191කින් සහ හොඳින් සංරක්ෂණය වී ඇති සම්පූර්ණ හිස්කබලකින් සමන්විත බවයි. එමෙන්ම, ලොව පුරා මෙවැනි නැනෝටිරැනස් සැකිලි සොයාගෙන ඇත්තේ තුනක් පමණක් බව ද වාර්තා වේ.
මෙම සැකිල්ල ඇමෙරිකාවේ මොන්ටානා ප්රාන්තයේ හෙල් ක්රීක් භූ විද්යාත්මක කලාපයෙන් සොයාගෙන ඇති අතර, එය සොයාගෙන ඇත්තේ ජෝඩි පියර්සන් නමැති ගොවිපොළ හිමිකාරිය විසිනි.
















