රෝග නිරීක්ෂණය, දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන සෞඛ්ය අවදානම් තක්සේරු කිරීම, ආපදා සූදානම සහ සෞඛ්ය සේවා සඳහා ප්රවේශය වැඩිදියුණු කිරීම සඳහා කෘත්රිම බුද්ධිය (AI) ඇතුළු ඩිජිටල් තාක්ෂණයන් ඒකාබද්ධ කරගැනීමේ වැදගත්කම සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර තිබේ.
තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් ජාතීන්ගේ සම්මන්ත්රණ මධ්යස්ථානයේදී අද (28) ආරම්භ වූ පස්වන ආසියා-පැසිෆික් අමාත්ය මණ්ඩල සමුළුවේදී ශ්රී ලංකාව නියෝජනය කරමින් අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජ කොමිසම (UNESCAP) සහ තායිලන්ත රජය එක්ව සංවිධානය කරන මෙම සමුළුවේ උප සභාපතිවරයෙකු ලෙසද වෛද්ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ.
ගෝලීය වශයෙන් තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමේ ප්රගතිය අපේක්ෂිත මට්ටමට වඩා මන්දගාමී වී ඇති බව පෙන්වා දුන් අමාත්යවරයා, AI වැනි නවීන ඩිජිටල් තාක්ෂණයන් සෞඛ්ය පද්ධතියට එක් කිරීමෙන් දේශගුණික විපර්යාස ආශ්රිත සෞඛ්ය අවදානම් පාලනය කිරීමටත්, මහජන සෞඛ්ය සේවා වඩාත් කාර්යක්ෂම කිරීමටත් නව අවස්ථා උදාවන බව සඳහන් කළේය.
සම්පත් හා තාක්ෂණික ධාරිතා සීමාවන්ට මුහුණ දෙන සංවර්ධනය වෙමින් පවතින රටවලටද මෙම තාක්ෂණයන්හි ප්රතිලාභ ලබාදීමේ අවශ්යතාව අමාත්යවරයා අවධාරණය කළේය. ඒ සඳහා තාක්ෂණික මෙවලම් හුවමාරු කරගැනීම, ජාතික අවශ්යතාවලට ගැළපෙන පරිදි ඒවා සකස් කිරීම සහ ධාරිතා වර්ධනය වෙනුවෙන් කලාපීය සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් වෛද්ය අනිල් ජාසිංහ, රාජ්ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ඉංජිනේරු (ආචාර්ය) සනත් පනාවැන්න සහ තායිලන්තයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















