ශ්රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනවල ගුණාත්මකභාවයට ජාත්යන්තරව ඉහළ පිළිගැනීමක් පවතින බැවින්, අප්රිකානු කලාපය වැනි නැඟී එන වෙළඳපොළ ජය ගැනීමට දේශීය නිෂ්පාදකයන්ට විශාල අවස්ථාවක් පවතින බව සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා පවසයි.
ගෝලීය පාරිභෝගික සෞඛ්ය නිෂ්පාදන සමාගමක් වන Haleon ශ්රී ලංකා සමාගමේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් රත්මලානේ පිහිටි එහි ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලා පරිශ්රයේදී පැවති සැමරුම් වැඩසටහනට එක්වෙමින් නියෝජ්ය අමාත්යවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතුද නිරීක්ෂණය කළේය.
වසර 70ක් පුරා ශ්රී ලාංකික ජනතාවගේ සෞඛ්ය අවශ්යතා සපුරාලීමට සහ උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනයට Haleon සමාගම ලබාදුන් දායකත්වය අගය කළ නියෝජ්ය අමාත්යවරයා, පැනඩෝල් වැනි සන්නාම දශක ගණනාවක් පුරා ජනතාව අතර ගොඩනගාගෙන ඇති විශ්වාසයද සිහිපත් කළේය.
නිෂ්පාදන පිරිවැය අවම කරගනිමින් ජාත්යන්තර වෙළඳපොළට පිවිසීම දේශීය ඖෂධ නිෂ්පාදකයන්ට වැදගත් අවස්ථාවක් බව පෙන්වා දුන් ඔහු, ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි මිලකට සහ නියමිත වේලාවට ලබාදීම රජයේ ප්රධාන අරමුණක් බව සඳහන් කළේය.
මෙරට සෞඛ්ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, ඖෂධ මිල නියාමනය සහ සෞඛ්ය සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කිරීම හරහා ජාතික ආර්ථිකයට දායක වීම සඳහා සෞඛ්ය අමාත්යාංශය නව සැලසුම් ක්රියාත්මක කරමින් සිටින බවද නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.
Haleon ශ්රී ලංකා සමාගම 1956 වසරේදී මෙරට ඖෂධ නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර, පැනඩෝල්, පැනඩීන්, අයොඩෙක්ස්, සෙන්සොඩයින්, කොසොඩිල්, ඉනෝ, පිරිටන් සිරප් සහ වෝල්ටාරන් ඇතුළු සන්නාම රැසක් යටතේ නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කරයි.
















