ශ්රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) විසින් පිරිනමනු ලබන පළමු උපාධි පාඨමාලාව වන හෝටල් හා නිවාඩු නිකේතන කළමනාකරණ ගෞරව උපාධි පාඨමාලාව ඔක්තෝබර් 27 වැනිදා කොළඹ Cinnamon Lakeside හෝටලයේදී නිල වශයෙන් ආරම්භ කර තිබේ.
දශක හයකට වැඩි කාලයක් සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්රයට අවශ්ය වෘත්තිකයන් පුහුණු කළ SLITHM ආයතනයේ මෙම නව පියවර, මෙරට සංචාරක අධ්යාපනයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. පාඨමාලාව සඳහා සිසුන් 65 දෙනෙකු බඳවාගෙන ඇති අතර, ඔවුන්ගෙන් බහුතරය කාන්තාවන් වීම විශේෂත්වයකි.
උත්සවයට එක්වූ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, ජාතික ආර්ථිකයට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන දායකත්වය සහ එම ක්ෂේත්රයේ කාන්තා සහභාගීත්වය තවදුරටත් ඉහළ නැංවීමේ වැදගත්කම අවධාරණය කළාය.
වසර හතරකින් සමන්විත මෙම උපාධි පාඨමාලාවට අධ්යයන කටයුතු, කර්මාන්ත ක්ෂේත්රයේ පුහුණුව, සීමාවාසික පුහුණුව, නිබන්ධන පර්යේෂණ සහ විදේශ භාෂා අධ්යයනය ඇතුළත් වේ. ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූල දැනුම හා කුසලතාවලින් සපිරි උපාධිධාරීන් බිහිකිරීම සහ සංචාරක ක්ෂේත්රයේ පවතින නිපුණතා හිඟය අවම කිරීම එහි ප්රධාන අරමුණු වේ.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්ය විජිත හේරත් මහතා සඳහන් කළේ, 2030 වන විට සංචාරකයන් මිලියන 4ක් මෙරටට ආකර්ෂණය කරගනිමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක සංචාරක ආදායමක් උපයා ගැනීම රජයේ ඉලක්කය බවයි. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා යටිතල පහසුකම් සහ සේවා වැඩිදියුණු කිරීමත්, ජාත්යන්තර ගුවන් සම්බන්ධතා පුළුල් කිරීමත් අවශ්ය බව ඔහු පෙන්වා දුන්නේය.
සංචාරක ක්ෂේත්රයේ පුහුණු හා නිපුණතා සහිත වෘත්තිකයන් සඳහා පුරප්පාඩු ආසන්න වශයෙන් 600,000ක් පවතින බවද අමාත්යවරයා සඳහන් කළේය. ඒ අනුව, සංචාරක අධ්යාපනය දිවයින පුරා ව්යාප්ත කිරීම සඳහා සෑම දිස්ත්රික්කයකම SLITHM ශාඛා පිහිටුවීමට සැලසුම් කර තිබේ.
ලෝක බැංකුවේ සහාය ඇතිව ආයතනයේ යටිතල පහසුකම්, පුහුණු පහසුකම් සහ මානව සම්පත් සංවර්ධනය කිරීමටද සැලසුම් කර ඇති අතර, හබරණ ප්රදේශයේ පරිශ්රයක් යොදාගනිමින් සංචාරක පුහුණු හා පර්යේෂණ මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බවද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.















