ජනාධිපතිධූරය ඉදිරියටත් බලගතු බවත් පාර්ලිමේන්තුවත්, පාර්ලිමේන්තුවේ බහුතරයත් ඔහුට තිබෙන්න ඕනේ ස්ථාවර පාලනයක් ගෙනයන්න හැකි බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ අනුරාධපුරයේ ව්‍යාපාරික හමුවකට සහභාගී වෙමින්.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ආණ්ඩුවේ, විධායකයේ, කැබිනට් මණ්ඩලයේ නායකයා සහ සේනාධිනායකයා ඉදිරියටත් ජනාධිපතිවරයා බවයි.
එහිදී අදහස් අමාත්‍යවරයා, ‘‘අපි නැවතත් මේ රට තීරණාත්මක සංසිද්ධියකට මුහුණ දෙමින් සිටිනවා. ඒ නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය. සමහරු කියනවා මේ ජනාධිපතිධූරය වැඩක් නැහැ මෙය නාමික ජනාධිපතිධූරයක්, මෙයට බලයක් නැහැ. 1977 ට කලින් තිබූ ගොපල්ලව මහත්මයාගේ ජනාධිපතිධූරය වගේ එකක්. ඒ නිසා බලවත් වන්නේ අග‍්‍රාමාත්‍යධූරයයි කියලා අදහසක් ප‍්‍රකාශ කරනවා. මෙය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මේ රටේ තවමත් රාජ්‍ය නායකයා, විධායකයේ නායකයා, ආණ්ඩුවේ එනම් කැබිනට් මණ්ඩලයේ නායකයා සහ සේනාධිනායකයා ජනාධිපතිවරයායි. විලියම් ගොපල්ලව මැතිතුමාට ආණ්ඩුවේ නායකකම තිබුණේ නැහැ. එය තිබුණේ අග‍්‍රාමාත්‍යවරයාට. ඒ නිසා මේ ජනාධිපතිධූරය තවමත් බලවත්. ජනාධිපතිධූරය 19 වෙනි සංශෝධනයෙන් සෑහෙන දුරකට අත්තනෝමතික බලතල කප්පාදු උනා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට, අධිකරණයට වගකියන චරිතයක් බවට පත් වුණා. එහෙම අත්තනෝමතික බලතල තිබෙනවා කියලා හිතාගෙන වර්තමාන ජනාධිපතිතුමා පසුගිය ඔක්තොම්බර් 26 වෙනිදා තමන්ට කැමැති ආණ්ඩුවක් පත් කරන්න ගිහින්, උසාවියෙන්, ජනතා විරෝධයෙන්, ජාත්‍යන්තර ප‍්‍රජාවගේ බලපෑමෙන් පැරණි ව්‍යවස්ථාවේ තිබූ වගන්ති වෙනුවට ආපු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනවලට හිස නමන්න එතුමාට සිදුවුණා. ඒ නිසා එයින් අදහස් වෙන්නේ නැහැ මේ ජනාධිපතිධූරය කියන්නේ තටු කැපිච්ච කෙනෙක් කියලා. ජනාධිපතිධූරය ඉදිරියටත් බලගතුයි. හැබැයි පාර්ලිමේන්තුවත්, පාර්ලිමේන්තුවේ බහුතරයත් ඔහුට තිබෙන්න ඕනේ ස්ථාවර පාලනයක් ගෙනයන්න නම්.
මේ වසර හතරහමාර තුළ මේ රජයට තිබූ බලගතුම ප‍්‍රශ්නය තමයි ජනාධිපතිවරයා හිටියට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොතිබීම. ඒ නිසා විවිධ බලවේගවල උදව් ලබාගන්න සිදු උනා බහුතරය පවත්වාගෙන යන්න. එක් අවස්ථාවක ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ, තවත් අවස්ථාවක දෙමළ සංධානයේ ඇතැම් යෝජනාවලට මෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ජනතා විමුක්ති පෙරමුණේ සහය ලබාගැනීමට විවිධ අවස්ථාවලදී සිදු වුණා. ඒ නිසා ස්ථාවර පාලනයක් පිළිබඳ යම් යම් කුකුසක් අපේ ජනතාව තුළ ඇතිවී තිබෙනවා. උතුරු මැද පළාත් සභාව ඇතුළු පළාත් සභා සියල්ලම පාහේ තිබුණේ ආණ්ඩුවට විරුද්ධව. ප‍්‍රාදේශීය සභා, මැතිවරණයට කලිනුත් 2018 මැතිවරණයට පසුවත් රජයට එරෙහිවයි තිබුණේ. හැබැයි මතක තියා ගන්න මේ ජනාධිපතිවරණය කියන්නෙත් තනි ජනාධිපතිවරණයක් නෙමෙයි. මේ ජනාධිපතිවරණය ඇතුළේ මැතිවරණ හතරක් තිබෙනවා. මොනවද ඒ මැතිවරණ හතර. පළමුවෙන්ම ජනාධිපතිධූරය, රාජ්‍යයේ, විධායකයේ නායකයා ආණ්ඩුවේ නායකයා, සේනාධිනායකයා තෝරණ තරඟය. ඒ ජනාධිපතිවරයාට හැකියාව ලැබෙන ලබන මාර්තු මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. ජනාධිපතිධූරය ජයගන්නා පුද්ගලයා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය ජයගන්නවා. ඒක තමයි 1989, 2010 උනේ. අපට 2015 වූ ඒ ප‍්‍රශ්නය නැවත ඇතිවෙන්නේ නැහැ. අපට අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනව මෙවර 113 ඉක්මවා ගිය පාර්ලිමේන්තුවක් පිහිටුවා ගන්න යැයි අමාත්‍යවරයා පැවසීය.