ඉදිරියේදී සිය ධුර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (25) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හමුවිය.
ජපාන තානාපතිවරයා සිය ධුර කාලය තුළ ජපාන ශ්‍රී ලංකා ද්වීපාර්ශවීය සබදතා ශක්තිමත් කිරීම සදහා ලබා දුන් දායකත්වය පිළිබද කථානායකවරයා සිය ප්‍රශංසාව මෙහිදී පළ කළේය. ශ්‍රී ලංකාවේ සැබෑම මිතුරෙක් ලෙස නිරතුරුව සහයෝගය ලබා දීම ගැන ඔහු ජපාන රජයට සහ ජනතාවට ස්තූතිය කළ කරන බව පවසා සිටියේය.
ජපාන තානාපතිවරයා මෙහිදී සිය ධුර කාලය තුළ කථානායකවරයා ඇතුළු පාර්ලිමේන්තුවෙන් ලැබුණු සහයෝගය පිළිබද සිය ස්තූතිය පළ කළේය. ශ්‍රී ලංකාව වැනි සුන්දර රටක කටයුතු කරන්න ලැබීම සතුටක් බවද ඔහු කියා සිටියේය. ශ්‍රී ලංකා-ජපාන රාජතාන්ත්‍රික සබදතාවලට වසර 70ක් ලබන වසරේ සපිරෙන බවද ඔහු මෙහිදී සිහිපත් කළේය.
වැවිලි කර්මාන්ත අමාත්‍ය, ශ්‍රී ලංකා – ජපාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති වෛද්‍ය රමේශ් පතිරණ මහතා, මෙරට ජපාන නියෝජ්‍ය තානාපති කට්සුකී කොටාරෝ මහතා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.