27 April 2024
#දේශීය

කොවිඩ් එන්නත් කාඩ්පත භාවිතය අනිවාර්ය කිරීම ගැන සොයා බලන්නැයි සංචාරක ඇමතිගෙන් ඉල්ලීමක්

කොවිඩ් එන්නත් කාඩ්පත භාවිතය අනිවාර්ය කිරීම සඳහා ඇති හැකියාව සොයා බලන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් ඉල්ලිමක් කර සිටි.

ප්‍රසන්න අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් එන්නත්කරණ කාඩ්පත විදෙස් සංචාරකයන් සඳහා ද අනිවාර්ය කි‍රීමට එමගින් හැකියාව ලැබෙන බවයි.

මේ වනවිට රටපුරා සංචරණ සීමා ලිහිල් කරමින් පවතින අතර රට තුල කොවිඩ් එන්නත්කරණ කාඩ්පත භාවිතය අනිවාර්ය කරන්නේ නම් එමගින් තවදුරටත් එන්නත්කරණයට ලක් නොවූ පිරිස් ද ඒ සඳහා යොමුකර ගැනීමට හැකිවනු ඇතැයි රණතුංග මහතා මෙහිදී විශ්වාසය පල කලේය.

විදෙස් සමුළු හා සම්මන්ත්‍රණ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව රට තුල පැවැත්වීමට ඇති හැකියාව සොයා බලමින් පවතින බව මෙහිදී පෙන්වා දුන් ඇමතිවරයා ලබන වසර තුල සංචාරකයන් විශාල පිරිසක් සහභාගී වන වැඩසටහන් ගණනාවක් රට තුල පැවැත්වීමට සැලසුම් කර ඇති බව පැවසිය.

ඒ අනුව ජාත්‍යන්තර මට්ටමේ සමුළු සම්මන්ත්‍රණ කිහිපයක් මෙන්ම සංචාරක වැඩසටහන් ගණනාවක් ලබන වසරේ මුල් කාර්තුව තුලදී සැලසුම් කර තිබෙන අතර රටේ පවතින සෞඛ්‍ය නීති රීති වලට අනුව මෙම කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බවද රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේ අදාල අංශ සමග සාකච්ඡා කර මේ පිලිබඳව ඉදිරියේදී කටයුතු කල හැකි බවත් සංචාරක ව්‍යාපාරය යළි යථා තත්වයට පත් කිරීමෙන් මෙරට ආර්ථික ක්‍ෂේත්‍රය නැවත ගොඩනැගිය හැකි බව පෙන්වා දුන් ඇමතිවරයා ඒ සඳහා සෞඛ්‍ය අංශයේ පූර්ණ සහය සංචාරක ක්ෂේත්‍රයට ලබාදෙන බවට සහතික විය.

සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ , සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන, සංචාරක සංවර්ධන අධිකාරි‍යේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මීහූද සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *