මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම – කුරුණෑගල කොටස විවෘත කිරීමට පෙර දින (14) තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ මහා මාර්ග අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ කාණ්ඩ තුනකින් සමන්විත පාපැදි තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
රටේ සංවර්ධන ක්‍රියාවලියට සමඟාමීව ක්‍රීඩාවේ ජවය යාවත්කාලීන කිරීමේ අරමුණ ඇතිව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම පාපැදි ශූරතාවලිය පැවැත්වේ.
ජාතික හා අන්තර්ජාතික තරග නීති රීතිවලට සහ කොවිඩ් මාර්ගෝපදේශවලට යටත්ව පැවැත්වෙන මෙම පාපැදි තරගාවලිය මෙරට කාන්තා හා පිරිමි පාපැදි තරගකරුවන්ට ලැබෙන සුවිශේෂී අත්දැකීමක් වනු ඇත.
මෙම තරගාවලියේ මුඵ දුර ප්‍රමාණය කි.මි. 80කි. සුපිරි සහ 23න් පහළ පිරිමි කාණ්ඩය, කණිෂ්ඨ පිරිමි කාණ්ඩය සහ සුපිරි කාන්තා තරගය ලෙස කාණ්ඩ කිහිපයක් යටතේ තරගාවලිය පැවැත්වේ.
ත්‍රිවිධ හමුදාව, වරාය අධිකාරිය, දෙහිවල ගල්කිස්ස නගර සභාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු පාපැදි ක්‍රීඩා සමාජ 30ක් පමණ මෙම තරගාවලිය නියෝජනය කරයි.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ බලපත්‍රලාභී පාපැදි ක්‍රීඩකයන් 125 දෙනෙකුට අධික පිරිසක් ඊට තරග කිරීමට නියමිතව ඇත.
සුපිරි සහ 23න් පහළ පිරිමි කාණ්ඩයේ තරගය පෙ.ව.8.30ටත් කණිෂ්ඨ පිරිමි කාණ්ඩය සහ සුපිරි කාන්තා තරගය පෙ.ව.8.40ටත් අධිවේගී මාර්ගයේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් ආරම්භ වන අතර අධිවේගී මාර්ගය ඔස්සේ යග්ගපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානය දක්වා ගොස් එතනින් හරවා නැවතත් එම මාර්ගය ඔස්සේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් තරග නිමාව සනිටුහන් කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිනි කෝකිලා ගුණවර්ධන මහත්මිය, මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති එච්.එල්.ක්‍රිෂාන්ත, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ මහලේකම් නලින් අධිකාරිආරච්චිගේ යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.