මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 265 ක් වන මැණික් අපනයන ආදායම මේ වසරේදී ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (23) කොළඹ තැපැල් මූලස්ථානයේදී මාර්ගගත ක්‍රමය ඔස්සේ මැණික් හා ස්වර්ණාභරණ ජාත්‍යන්තර වෙළඳපළ වෙත අපනයනය කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි.
මැණික් හා ස්වරණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් මෙම මාර්ගගත ක්‍රමය තැපැල් දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රේගුව සමඟ එක්ව ක්‍රියාවට නංවයි. මේ මඟින් ඇමරිකානු ඩොලර් 3000 ට අඩු වටිනාකමක් ඇති මැණික් හා ස්වර්ණාභරණ මාර්ගගත ක්‍රමය ඔස්සේ ජාත්‍යන්තර ගැනුම්කරුවන් වෙත විකිණිමේ අවස්ථාව මැණික් කර්මාන්තකරුවන්ට හිමිවේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය එස්. බී. දිසානායක මහතා, ” අද දින දියත්කරන මෙම මාර්ගගත ක්‍රමය හරහා ජාත්‍යන්තර වෙළඳපළට පිවිසීමට වැඩි අවස්ථාවක් උදා වෙනවා. මෙය අප රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය වැඩිකර ගැනීමට ඉතා හොඳ අවස්ථාවක්. වර්තමානයේ අප මුහුණ දී තිබෙන විදේශ විනිමය ගැටළුවට හොඳ පිළියමක්. මේවන විට වසරකට ඩොලර් මිලියන 265 ක පමණ අපනයන ආදායමක් තමයි මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් ලැබෙන්නේ. නමුත් මෙම online ක්‍රමය භාවිතය හරහා අපගේ මැණික් අපනයනය වැඩිකරගනිමින් මැණික් හා ස්වර්ණාභරණ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයක් දක්වා වැඩිකර ගැනීමට හැකියාවක් තිබෙනවා. පසුගිය කොවිඩ් වසංගත සමයේ අපගේ අනිකුත් අපනයන කටයුතු මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අපනයනය ද පසුබෑමකට ලක්වුණා. නමුත් මේ තත්වය දැන් වෙනස් වෙමින් පවතිනවා. අපේ මැණික් වලට ජාත්‍යන්තරයේ ඉතා ඉහළ පිළිගැනීමක් තිබෙනවා. මගේ පෞද්ගලික විශ්වාසය නම් අපේ රටේ පොළව යට ඇති මේ වටිනා සම්පතින් 10% ක ප්‍රමාණයක්වත් තවම අප ප්‍රයෝජනයට ගෙන නැති බවයි. පොළව මතුපිට ඇති වනාන්තර, නගර, ගොඩනැගිලි තිබියදී නවීනතම තාක්ෂණය භාවිතාකොට පොළව යටින් ගොස් මේ වටිනා සම්පත මතුකරගෙන අපේ රටට වැඩිවැඩියෙන් විදේශ විනිමය ගෙන එන ලෙස මම අපේ රටේ මැණික් කර්මාන්තකරුවන්ට ආරාධනා කරනවා. අද අප රටට උදා වෙලා තියෙන්නේ ඩොලර් බිලියන 2 ක ගැටළුවක්. පසුගිය රජය ගත් බොහෝ හිතුවක්කාරී තීරණ මෙම තත්වයට හේතු වුණා. හම්බන්තොට වරාය විකිණීමෙන් ලද ඇමරිකානු ඩොලර් මිලියන 1500 ක් රටේ සංචිත වලට එකතු නෙකර නිරපරාදේ විනාශ කළා. විවෘත වෙළඳ පලෙන් 7%, 8% වැනි ඉහළ පොලී අනුපාත වලට මුදල් ණයට ගත්තා. එසේම සවරින් බොන්ඩ් (Sovereign Bond) වෙළඳපළට නිකුත් කර ලබාගත් රුපියල් මිලියන 13 000 ක් විනාශ කළා. වර්තමානයේ රටේ පවතින මෙම තත්වය උදාවුණේ මෙවැනි තීරණ නිසා. ඒ නිසා අද වන විට ව්‍යාපාරිකයින්ගෙන් ඩොලර් මිලියන 25 , 30 ඉල්ලා ගෙන ගෑස් නැව්, තෙල් නැව්, කිරිපිටි නැව් වරායෙන් මුදාගන්න සිදුවෙලා තියෙනවා. නමුත් මේ තත්වය ලංකාවට අළුත් දෙයක් නෙමෙයි. 1970 බණ්ඩාරනායක මැතිනියගෙ කාලෙත් රටේ ආර්ථිකය 0.2 ට පහත වැටුණා. එසේම 1972 දී ඇතිවූ ලෝක ආර්ථික අවපාතයටත් මුහුණදීමට ලංකාවට සිදු වුණා. නමුත් මේ කල වකවානුවෙදී මැතිනිගෙ රජය දුෂ්කර ගම්මානවලට යන්න පාරවල් හදන්න පටන් ගත්තා. වානේ, ටයර්, කඩදාසි, ට්‍රැක්ටර්,සීනි කර්මාන්තශාලා ආරම්භ කළා. මේ කාලයේ රටේ විශාල දේශීය ආර්ථිකයක් ගොඩනංවන්නට එවක රජය අඩිතාලම දැම්මා. නැවත වතාවක් එවැනිම අසීරු කාලයක් 2009 දී අප රටේ පැවති යුද්ධය අවසන් කළ කාලයේත් පසුකරන්නට අපට සිදුවුණා. අපේ සියලු සම්පත් යුද්ධය නිසා අවසන් වුණා. ඒ කාලයේත් තෙල් අර්බුද තිබුණා. විදුලි අර්බුද තිබුණා. ඒ වුණත් 2010 අවසන්වන විට දී 8% ක ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න එවක පැවති රජය සමත් වුණා. 2015 වන විට ආසියාවේ වේගයෙන්ම සංවර්ධය වන රට බවට පත්වීමට අපට හැකි වුණා. පසුගිය කොවිඩ් වසංගතයත් සමඟ පැමිණි ගොවි රැල්ල, , ගුරු රැල්ල, සෞඛ්‍ය රැල්ල වැනි විවිධ රැලි නිසා කිහිපවතාවක්ම රට වසා දැමීමට සිදු උනා. එක් දිනක් රට වැසීමෙන් රුපියල් කෝටි 400 ක් පාඩුයි. දැන් අප ගෙවමින් සිටින්නේ ඒවායේ ප්‍රතිඵල. 2009 වසරේදී බිංදුවට වැටුණු රට යළි පිබිදුණු සේ මේවන විට පවතින අර්බුද විසඳගෙන ලබන වසර වන විට අපට රටක් ලෙස ස්වාධීන ව නැඟිටීමට හැකිවනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට මැණික් හා ස්වරණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, මැණික් හා ස්වරණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ, රේගු අධ්‍යක්ෂ ජනරාල් රවිප්‍රිය ද අල්විස්, මැණික්
අපනයනකරුවන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.