බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීනයේ ශ්‍රී ලංකා වෙළෙඳ හා ආර්ථික සහයෝගීතා සංගමය (CSLATE) සහ සීමාසහිත බීජිං වන්හොංග්තායි ටෙක්නොලොජි සමූහ සමාගම සමඟ එක්ව, චාඕයැංග් දිස්ත්‍රික්කයේ සුප්‍රකට ෂීයු ෂුයි වීදියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්‍යස්ථානය පසුගිය 20 වනදා විවෘත කළේ ය.
විශාල එළිමහන් ප්‍රදේශයක් සහිත මෙම වෙළඳසැල තානාපතිවරයා වෙත නොමිලේ පිරිනමා ඇත.
මෙම මුලපිරීම, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 65 ක් සපිරීමේ සංවත්සරය සහ රබර්- සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් තානාපති කාර්යාලය ක්‍රියාත්මක කරන ක්‍රියාකාරකම් මාලාවට ඇතුළත් එක් මුලපිරීමකි. ෂැංහයි සහයෝගීතා සංවිධානයේ (SCO) නියෝජ්‍ය මහලේකම්වරයා, රාජ්‍ය නිලධාරීන්, බීජිං හි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයන් සහ චීන ව්‍යාපාරික ප්‍රජාව මෙම අවස්ථාවට සහභාගී වූහ.
එහිදී බීජිං හි ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා කියා සිටියේ මෙම මුලපිරීම චීනය තුළ ලංකා තේ ප්‍රවර්ධනය කිරීම සඳහා වූ පුරෝගාමී මුලපිරීමක් බව සඳහන් කළ අතර, CSLATE හි සහ සීමාසහිත බීජිං වන්හොංග්තායි ටෙක්නොලොජි සමූහ සමාගමේ උද්යෝගීමත් දැක්ම වෙනුවෙන් සිය ස්තුතිය පළ කළේ ය.
මෙය චීනයේ ප්‍රථම ලංකා තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්‍යස්ථානය වන අතර තවත් බොහෝ තේ වෙළඳසැල් චීනය තුළ විවෘත වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව, තානාපතිවරයා සඳහන් කළේ ය. ලංකා තේ රසවිඳීම සඳහා තම හිතවතුන් ද කැටුව මෙම තේ වෙළඳසැලට පැමිණෙන ලෙස පැමිණ සිටි පිරිසට තානාපතිවරයා ආරාධනා කළේ ය.