2024 මුදල් වර්ෂය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (13) පාර්ලිමේන්තුවට අයවැය යෝජනාව ඉදිරිපත් කලේය. එම යෝජනාව ඇතුලත් සම්පුර්ණ කතාව පහත පරිදි වේ.
අයවැය කථාව- 2024
සවිමත් අනාගතයට පෙරවදනක්
ප්‍රවේශය
ගරු කථානායකතුමනි,
බුද්ධ දේශනාවේ සමජීවිකතා කියා යෙදුමක් තියෙනවා. බුදුන්වහන්සේ සමජීවිකතා ගැන දේශනා කළේ ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ. අයවැය සමසේ සකස් කර ගැනීම ගැන තමයි, සමජීවිකතා ඔස්සේ අපට කියලා දෙන්නේ.
අඩු ආදායමක් ලබමින්, සාටෝප උදාර ජීවිතයක් ගත කිරීම වැරදි බවත්, සැබෑ අවබෝධයක් ඇත්තා අය-වැය සමව ගෙන ජීවිකාව හැඩ ගස්වා ගත යුතු බවත් එහිදී පෙන්වා දෙනවා.
වියදම් කළ යුත්තේ ආදායමට සරිලන විදියටයි. ඒක තමයි බෞද්ධ ආර්ථික දර්ශනයෙන් අපට පෙන්වා දෙන්නේ. හැබැයි නිදහසින් පසු අවුරුදු 75 ක් තිස්සේ හුඟක් වෙලාවට අපි ආදායමට සරිලන ලෙස වියදම් කළේ නෑ. මම මෙහෙම කිව්වාම මේ රටේ ආණ්ඩු නාස්තිකාර වියදම් කළා කියා කෙනෙකුට හිතන්න පුළුවන්. ආණ්ඩු විතරක් නෙවෙයි. මේ රටේ අපි හැමෝම ඒ වැරැද්ද කළා.
රස්සාවල් දුන්නේ, පඩිවැඩි කළේ, නිකම් හාල් දුන්නෙ, සහන දුන්නෙ, රාජ්‍ය ව්‍යවසායයන් නඩත්තු කළේ එක්කෝ ණය වෙලා. නැත්නම් සල්ලි අච්චු ගහලා. මැතිවරණ දිනුවෙ මෙන්න මේ වගේ පොරොන්දුවලින්. ආණ්ඩුවෙ රස්සා. රාජ්‍ය සම්පත් රැක ගැනීම. සහන මළු, බඩු මිල අඩු කිරීම්, වැඩි පඩි. ඔන්න ඔය වගේ ආදායමට නොගැලපෙන සාටෝප උදාර ජීවිත ගත කරන්න අපි රටටත්, ලෝකයටත් ණය වුණා.
බුදුන් වහන්සේ සාමඤ්ඤඵල සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ ණය ගත යුත්තේ ආයෝජනය සඳහා මිස පරිභෝජනය සඳහා නොවන බවයි. හැබැයි අපි ණය ගත්තේ පරිභෝජනයට. මේ ආකාරයෙන් ණය ගැනීම සහ පොළී ගෙවීම අන්ත අනතුරුදායක බව අංගුත්තර චක්ක නිපාතයේ ඉණ සූත්‍රයේ සඳහන් වෙනවා.
සමජීවිකතා සහ බෞද්ධ ආර්ථික දර්ශනය නොතකා හැරීමේ ප්‍රතිඵලයක් හැටියට නිදහසින් වසර 75 ක් ගත වෙද්දී අපි අන්ත අසීරුතාවයට පත්වුණා. අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. බංකොලොත් රාජ්‍යයක් බවට පත්වුණා.
පෙට්‍රල් ලීටර දෙක තුනකට මිනී මරා ගත්තා. ගෑස් ටැංකියකට දබර කර ගත්තා. දවසට පැය දහය පහලොව කළුවරේ හිටියා. සුපිරි වෙෙළඳ ශාලා දරමිටි විකුණන්න පටන් ගත්තා. ව්‍යාපාර කඩා වැටුණා. සංචාරක කර්මාන්තය බිඳ වැටුණා. රස්සාවල් නැතිවුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ නැත්තටම නැති වුණා. හැම තැනම පෝලිම්. පොදු ප්‍රවාහන සේවා කඩා වැටුණා. පාසැල් වැසුණා. විභාග පවත්වන්න බැරිවුණා. පොහොර හිඟය නිසා ආහාර අර්බුදයක් ඇති වුණා. අපට ඉතුරු වෙලා තිබුණෙ රටක් නෙවෙයි. අපායක්.
මේ අපායෙන් රට මුදවා ගැනීමේ අභියෝගය බාර ගන්න කිසිවෙකුත් කැමති වුණේ නෑ. අන්දරේ ගල ඉස්සුවා වගේ විවිධ හේතු කියමින් ඔවුන් අභියෝගය හමුවේ කර ඇරියා. සමහරු කේන්දර බැලුවා. තවත් සමහරු ව්‍යවස්ථානුකූලව ඉටු කරන්න බැරි කොන්දේසි දැම්මා.
ඔන්න ඔහොම පසුබිමක තමයි මම මේ රට බාර ගත්තෙ.
ඒ වෙලාවෙ මම බාරගත්තෙ මරණාසන්න ලෙඩෙක්. අපායක් බවට පත්වුණු රටක්. පීලි පැන, හතර ගාතෙ ඇද වැටී තිබුණු ආර්ථිකයක්.
අපි විවිධ බාධක හා දුෂ්කරතා මැද්දේ, විධිමත් හා ක්‍රමවත් සැලැස්මක් යටතේ දිවා රෑ නොබලා වැඩ කරන්න පටන් ගත්තා. රට අපායෙන් මුදවා ගන්න වෙර දැරුවා. රාජ්‍ය නිළධාරීන් වෙහෙසෙමින්, කැප වෙමින් රට ගොඩගැනීමේ වෑයමට උදව් කළා. අපේ මිත්‍ර රටවල් සියල්ලම උපරිමයෙන් අප ගැන සොයා බැලුවා. සහන සැලසුවා.
ඒ අවස්ථාවේ දී මම ප්‍රසිද්ධියේ ම ඔබ සැමට කියා සිටියේ පරිපූර්ණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඔස්සේ ආර්ථිකය යළි නඟාසිටුවීමටත්, ආර්ථික අපා දුකින් ජනතාව බේරා ගැනීමටත් මම කැපවී වෙහෙසී කටයුතු කරන බවයි. මේ වෙහෙසීමට හා කැපවීමට දායක වුණේ මම විතරක් නෙවෙයි. මේ රටේම ජනතාව ඒ වෙනුවෙන් වෙහෙසුණා. ඒ වෙනුවෙන් කැපවුණා. එසේ නොකර රට ආපස්සට ඇද දමන්නට වෙහෙසුණු පිරිසකුත් හිටියා. නමුත් ඒ අයගේ අපේක්‍ෂාවන් සුන් කරමින් රට කිසියම් ස්ථාවරත්වයකට පත් කරන්නට දැන් අපට පුළුවන් වෙලා තියෙනවා.
පීලි පැන ඇද වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට දැන් අපට හැකි වී තියෙනවා. අප ඒ සඳහා ආනයන සීමා කිරීම් වැනි තාවකාලික පියවර රැසක් ගත්තා. නමුත් එවැනි සීමා කිරීම් දිගින් දිගටම පවත්වා ගෙන යෑම ආර්ථිකයට හිතකර නැහැ. දැන් අපි දීර්ඝ කාලීන හා තිරසර පියවර ගත යුතු කාලයයි. පීල්ල මත තැබූ ආර්ථිකය යළිත් පීලි මත දුවවන්නට හැකි වන්නේ එවිටයි. මරණයෙන් බේරා ගත් ආර්ථිකය පූර්ණ වශයෙන් සුවපත් කිරීමට හැකි වන්නේ එවිටයි.
ඒක ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. නමුත් අපට එය කරන්න පුළුවන්. අප යන මේ මාර්ගය ඔස්සේ, තව තවත් නව සංකල්පවලින් පෝෂණය වෙමින් ඉදිරියට ගියොත් අපට මේ අභියෝගය ජයගන්න පුළුවන්.
සමජීවිකතා සංකල්පයෙන් පිට පැන, දේශපාලන වාසියක් ලබා ගත හැකි කරුණු පමණක් උලුප්පමින් විසඳුම් සෙවීම අසාර්ථක බව ඉතිහාසය ඔප්පු කර තියෙනවා. ඇයි ඉතින් අසාර්ථක බව දැන දැනම තව තවත් ඒ වැඩේම කරන්නෙ?
සුරංගනා කතා කීවාට රටක් ඉදිරියට යන්නේ නෑ. සිහින මාළිගාවලින් පොරොන්දු වී රටක් දියුණු කරන්න බෑ. කාලයක් තිස්සේ එක් එක් දේශපාලන පක්‍ෂ ලබා දුන් ඡන්ද පොරොන්දු නිසා රට ආපස්සට ගියා. එහි අවසාන ප්‍රතිඵලය රට බංකොලොත් වීම බව ඇස් ඉදිරියේ සනාථ වුණා. ඒත් අවාසනාවට රටේ සමහර කණ්ඩායම් මේ තත්ත්වය තවමත් අවබෝධ කර ගෙන නැහැ.
මම යළි යළිත් ඔබෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් මිත්‍යාව පැතිරවීම නවත්තමු. අපි අපිටම අවංක වෙමු. දේශපාලනයට වඩා රට ගැන හිතමු. රට ඉහළට ඔසවා තබන්න එක්වෙමු. රට ශක්තිමත් වුණාට පසු දේශපාලන අරමුණු ගැන හිතමු.
අවුරුද්දකට කලින් අපේ රටේ තත්ත්වයට වඩා දැන් තත්ත්වය යහපත්. මම මේ කියන්නේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම යහපත් තත්ත්වයකට පත්වෙලා කියලා නෙවෙයි. එදාට වඩා සංසන්දනාත්මකව අද යහපත්. ඒ තත්ත්වය අප ලබා ගත්තේ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින්. කැපවීම් කරමින්. අමාරුකම් හමුවේ ජීවිත ගැටගසා ගනිමින්.
අප මේ යන දුෂ්කර මාවතේ අඩියෙන් අඩිය ඉදිරියට ගියොත් නොබෝ කලකින් මීට වඩා යහපත් ආර්ථික පරිසරයක් අපට අනිවාර්යෙන්ම නිර්මාණය කර ගන්න පුලුවන්. අප යන මේ මාවත නිවැරදි බව පසුගිය වසර දෙස ආපසු හැරී බලද්දී සියයට 100 ක් ම සනාථ වෙනවා. පෙට්‍රල් ලීටරයකට මිනී මරා ගත් රටක් අද පෝලිමකින් හෝ සීමාවකින් තොරව පෙට්‍රල් ලබා ගන්නවා. ගෑස් ටැංකියක් ලබා ගැනීමට සති ගණන් පාරේ රස්තියාදු වූ රටක් අද එක දුරකථන ඇමතුමකින් ගෙදරටම ගෑස් ටැංකිය ලබා ගන්නවා. දවසකට පැය දහයක් දොළහක් විදුලිය නැතිව සිටි රටක් අද අඛණ්ඩව විදුලි බලය ලබා ගන්නවා. සුපිරි වෙළෙඳසැලේ සිට සිල්ලර කඩය දක්වා දර මිටි අලෙවි කළ රටක් අද වෙනස් වී තිබෙනවා. ඒ කියන්නේ අප යන මාවත නිවැරදියි. අපේ සැලසුම් නිවැරදියි. අපේ උපාය මාර්ග නිවැරදියි. ඒ නිසා අමාරුවෙන් වුණත් අපි මේ ගමනේ ඉතිරි ටිකත් ඉදිරියටම යමු.
මේ ගමන් මග මෙතෙක් ඉදිරියට එද්දී යම් යම් අඩුපාඩු සිද්ධ වුණා. ඒවා අප හඳුනාගෙන තියෙනවා. අප ඉතා නිහතමානීව ඒ අඩුපාඩු සහ වැරදි නිවැරදි කරගන්නට ක්‍රියා කරනවා.
පීලි පැනපු ආර්ථිකය යළිත් පීල්ල මත තැබූ පමණින් අපට සෑහීමකට පත් වෙන්න බෑ. ඒ පමණින් අපට ලොකු සහනයක්, පහසුවක් සැලසෙන්නෙත් නෑ. අපේ දුෂ්කර සමය තවම ඉවර වෙලත් නෑ. මුළු රටම විවිධ අන්දමින් දුෂ්කරතාවන්ට මුහුණ දෙනවා.
උද්ධමන වේගය තනි ඉලක්කමක් දක්වා අඩු කරලීමට අපට හැකි වුණ නිසා අධි උද්ධමනකාරී විනාශයෙන් රට ගලවා ගැනීමට අපට පුළුවන් වුණා. නමුත් මේ දරුණු අර්බුදය නිසා ඉහළ ගිය ජීවන වියදමට සරිලන පරිදි වැටුප් හා ආදායම් වැඩි කර ගැනීමට අපට තවමත් හැකි වී නැහැ. ඉන්ධන සහ විදුලි බිල තියුණු ලෙස ඉහළ යෑම සෑම පවුලකටම අනර්ථකාරී ලෙස බලපෑවා. බදු ඉහළ නැංවීම නිසා තනි පුද්ගලයන් පමණක් නොව, කුඩා ව්‍යාපාරවල සිට මහා පරිමාණ ව්‍යාපාර දක්වා තිගැස්සීමකට ලක්වී තියෙනවා. නිෂ්පාදන වියදම් ඉහළ ගොස් තිබෙනවා.
රටේ ජනතාව විදින මේ දුක් පීඩාවන් ගැන අප හොඳින්ම දන්නවා. ස්ථාවර සහ සංවර්ධිත ආර්ථිකයක් කරා යන ගමන සුන්දර නැහැ. දුෂ්කරයි. කටුකයි. අභියෝගාත්මකයි.
බංකොළොත් රටක් යළි ප්‍රකෘතියට පත් කිරීම මහා දුෂ්කර ව්‍යායාමයක්. මේ දුෂ්කර කාලය ගෙවා ගතහොත් අපට සහනදායී සුන්දර සමාජයක් නිර්මාණය කර ගන්න පුලුවන් වෙනවා. එහෙම නැතුව බලය ලබා ගැනීමේ දේශපාලන අරමුණු මතින් ජනතාවට සහන ලබාදීමේ සිහින මාළිගා ඉදිකරන්නට ගියොත් අවසානයේ රට යළිත් බංකොළොත් වෙනවා.
අප මෙතෙක් පැමිණි ගමන් මගේ සාර්ථකත්වයට හේතුව අප ආරම්භ කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළයි. 2022 දී මෙන් ආර්ථික අපායකට නොවැටී ඉදිරියට යන්නට මේ ප්‍රතිසංස්කරණ වැඩසටහන පදනම දමා තිබෙනවා.
2013 වසරේ සිට විදුලි උත්පාදනය සඳහා රජය වැය කරන මුදලට සරිලන පරිදි විදුලි බිල සංශෝධනය කිරීමේ පිළිවෙතක් අනුගමනය කෙරුණේ නැහැ. මේ නිසා විදුලි බල මණ්ඩලය බරපතළ ලෙස පාඩු ලැබුවා. 2022 වන තෙක්ම මේ පාඩු පියවීම සඳහා රාජ්‍ය බැංකු දෙකෙන් මුදල් ලබා ගත්තා. ඒ වගේම හිතා ගන්නට බැරි තරමේ පාඩු ලබන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව පියවා ගත්තේ ද රාජ්‍ය බැංකු දෙකේ මුදල්වලින්. මේ තත්ත්වය කොයි තරම් බරපතළ වුණා ද කිවහොත් මේ වන විට රාජ්‍ය බැංකු දෙකේම ශේෂ පත්‍ර දුර්වල මට්ටමකට ඇද වැටී තියෙනවා. මේ බැංකු දෙක ශක්තිමත් කරලීම සඳහා මුදල් යෙදවීමට ආණ්ඩුවට සිදු වී තිබෙනවා. ඒ මුදල් ලබා ගන්නේ කොහෙන්ද? ඒ මුදල් ලබා ගන්න වෙන්නෙ ජනතාවගෙන් අය කරන බදු මුදල්වලින්.
පාඩු ලබන රාජ්‍ය ආයතනවල පාඩුව පියවන්න රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගන්නවා. ඒ නිසා රාජ්‍ය බැංකු දුර්වල වන විට බැංකු කඩා වැටීම වැළැක්වීම සඳහා ආණ්ඩුව මුදල් ලබා දෙනවා. ඒ මුදල් උපයා ගැනීමට නම් ජනතාවට වැඩි වැඩියෙන් බදු බර පැටවීමට සිදු වෙනවා.
සමහර කණ්ඩායම් පඩි වැඩි කරන්න කියා උද්ඝෝෂණ කරනවා. මේ දවස්වල රජයේ සේවකයන්ට විතරක් නෙවෙයි. මුළු රටටම අමාරුයි. මේ දුෂ්කර තත්ත්වයෙන් ගොඩ එන්න අපි දවසින් දවස, පියවරෙන් පියවර ඉදිරියට යා යුතුයි. එය අසීරු ගමනක්. වැඩ වර්ජන නිසා එක පැත්තකින් ඉදිරි ගමන අඩාල වෙනවා. අනික් පැත්තෙන් රටේ බහුතර ජනතාවක් පීඩාවට පත් වෙනවා.
පඩි වැඩි කිරීම ගැනත් මම වචනයක් සඳහන් කළ යුතුයි. පඩි වැඩි කිරීම් හිතුමතේ කරන්න බෑ. රජයේ සේවකයන්ට පඩි ගෙවීම සඳහා රජයේ බදු ආදායමෙන් සියයට 35 ක් වැයවෙනවා. තවත් පඩි වැඩි කරන්න නම්, රජයේ ආදායම් වැඩි කරගන්න ඕනෑ.
රජයේ ආදායම් වැඩි කරගන්නේ නැතුවත් ඕනෙ නම් පඩි වැඩි කරන්න පුළුවන්. ඒ කොහොමද? එක්කෝ සල්ලි අච්චු ගහන්න ඕනෑ. නැත්නම් පිටරටකින් ණය ගන්න ඕනෑ. ඒත් නැත්තම් අලුතෙන් බදු ගහන්න ඕනෑ. ඒ පිළිවෙත සමජීවිකතා සංකල්පයට විරුද්ධයි. එවැනි පියවරවලින් වෙන්නේ රට නැවතත් අගාධයට ඇද වැටීමයි.
විදුලි බල මණ්ඩලය විදුලිය උත්පාදනය සඳහා විශාල මුදලක් වැය කරනවා. මේ නිසා මහා පරිමාණ අඩු වියදම් පුනර්ජනනීය බලශක්තිය ප්‍රධාන විදුලි ජාලයට එක් කිරීමට අවශ්‍ය සියලුම නීතිමය බාධක අපි ඉවත් කළා. අකාර්යක්‍ෂම විදුලි බල මණ්ඩලය වෙනුවට කාර්යක්‍ෂම ආයතනයක් ලෙස එය ප්‍රතිව්‍යුහගත කිරීමේ නීති රීති දැන් සම්පාදනය වෙමින් පවතිනවා. විදුලි බල උත්පාදනය කාර්යක්‍ෂම ලෙස ඉටු කළ හැකි ආයතනික වෙනස්කම් සිදු කිරීමෙන් පසු ජනතාවගේ විදුලි බිල මීට වඩා සැහැල්ලු වෙනවා.
සමහර දේශපාලන කණ්ඩායම් විදුලි බල මණ්ඩලය කාර්යක්‍ෂම ආයතනයක් ලෙස ප්‍රතිව්‍යුහගත කරනවාට විරුද්ධයි. ඔවුන් කියන්නේ කෙසේ හෝ විදුලි බිල පහත දමන ලෙසයි. එවැනි දේකින් සිද්ධ වෙන්නේ නැවතත් අප අර විෂම චක්‍රයේ ගොදුරක් බවට නැවත පත් වීමයි. සමජීවිකතා සංකල්පයට පිටුපෑමයි.
රාජ්‍ය බදු ඉහළ දැමීම ගැනත් බරපතළ විවේචන තියෙනවා. බදු ඉහළ දැමීමට අපට සිදු වූයේ ඇයි? බදු ව්‍යුහයන් වෙනස් කිරීම සහ බදු ප්‍රතිසංස්කරණ අප කාලයක් තිස්සේ නොසලකා හැරියා. මේ නිසා රාජ්‍ය මූල්‍ය අංශය දුර්වල වුණා. එය යළි ශක්තිමත්ව පවත්වා ගෙන යාමට නම් අනිවාර්යෙන්ම බදු ක්‍රමයේ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කළ යුතු වුණා.
සෑම මාසයකම රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීමට රුපියල් බිලියන 93 ක් වැය වෙනවා. අස්වැසුම, ඖෂධ, විශ්‍රාම වැටුප් ආදී මහජන සුබසාධනය වෙනුවෙන් මසකට රුපියල් බිලියන 30 ක් වැය වෙනවා. ඒ සමඟම රුපියල් බිලියන 220 ක් ණය පොලී ගෙවීමට වැය වෙනවා. මෙම කාරණාවලට පමණක් වැය වන මාසික රාජ්‍ය වියදම රුපියල් බිලියන 383 ක්. 2023 පළමු මාස 9 තුළ අපේ මාසික බදු ආදායම රුපියල් බිලියන 215 යි. රුපියල් බිලියන 168 ක් හිඟයි. මේ හිඟය පියවන්න නම් තව තවත් ණය ගත යුතු වෙනවා.
මෙතෙක් මේ හිඟ මුදල් පියවා ගත්තේ කොහොමද? විදේශ ණය ලබා ගන්නවා. ලංකාවේ බැංකුවලින් අයිරා ලබා ගන්නවා. මේ ක්‍රම දෙකෙන් හිඟ මුදල් පියවා ගැනීමට බැරි වූ විට මුදල් අච්චු ගහනවා.
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් අපට විදේශ මුදල් හා විදේශ ණය ලබා ගත හැක්කේ ඉතා සීමාසහිතවයි. 2021 වසරේ රුපියල් බිලියන 900 ක බැංකු අයිරා ලබා ගෙන තිබුණා. දැන් බැංකු අයිරා ලබා ගැනීම රුපියල් බිලියන 70 දක්වා පහත මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. නව මහ බැංකු පනත අනුව මුදල් අච්චු ගසන්නටත් බෑ. මේ නිසා රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 සිට සියයට 15 දක්වා ඉහළ නංවා ගත්තේ නැත්නම් අපි නැවතත් ආර්ථික අපායකට ඇද වැටෙනවා. බදු අඩු කිරීමක් කළහොත් වෙනත් ආකාරයකින් තවත් පිරවීමක් කළ යුතුයි. සමහර කණ්ඩායම් ප්‍රකාශ කරනවාක් මෙන්, සරල – සුන්දර පොරොන්දුවලින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.
මේ අවුරුද්දේ අප ඉලක්ක කරන ලද රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3,415 ක්. මේ දක්වා අප උපයා ගෙන ඇති ආදායම රුපියල් බිලියන 2,410 ක්. ඒ කියන්නේ අප ඉලක්කගත ආදායම උපදවා ගන්නට අසමත් වෙලා. මේ කරුණුත් අප දැඩි ලෙස සැලකිල්ලට ගත යුතුයි. ඉලක්කගත රාජ්‍ය ආදායම උපයා ගැනීමට වෙහෙසිය යුතුයි.
අලුතෙන් බදු ලිපි ගොනුවක් ලියාපදිංචි කරන ලෙස වැඩි ආදායම් ඇති අයගෙන් අප අවස්ථා කීපයකම ඉල්ලා සිටියා. නමුත් බහුතරයක් එසේ කළේ නෑ. එයට මූලික හේතුව බදු ගොනුවක් විවෘත කිරීමෙන් පසු නැති කරදරවලට මුහුණ දෙන්නට සිදුවෙතැයි කියන විශ්වාසය. ඒක ඇත්ත. බදු අය කිරීම් සම්බන්ධයෙන් අනවශ්‍ය සංකීර්ණතා තියෙනවා. සමහර නිලධාරීන්ගේ අනවශ්‍ය බලපෑම්වලට යටත් වෙන්නට සිදුවෙන අවස්ථා තියෙනවා. බදු ගෙවීම හිසරදයක් වෙන තරමට සමහර ගෙවීම් ක්‍රම සංකීර්ණයි.
අපේ බදු ක්‍රමයේ ඇති මෙවැනි බරපතල අඩුපාඩු ගණනාවක් අප හඳුනාගෙන තියෙනවා. වර්තමානයේ සමස්ත ඍජු බදු බර සමාජයේ සීමිත කොටස් කිහිපයක් මත පැටවී තියෙනවා. ආදායම් එකතු කිරීමේ ක්‍රමවේදයන්හි කාලයක් තිස්සේ පවතින දුර්වලතා සහ නොසලකා හැරීම් නිසා බදු පැහැර හැරීම් සිදු වෙනවා.
මෙම අඩුපාඩු සකස් කර ගැනීමේ යෝජනා ගණනාවක් මේ අයවැයට අප ඇතුළත් කර තියෙනවා. මෙම යෝජනා එක රැයෙන් ක්‍රියාත්මක කළ හැකි වන්නේ නෑ. ඒවා ක්‍රමානුකූලව ක්‍රියාත්මක කළ යුතුයි. එම යෝජනා ඔස්සේ රාජ්‍ය ආදායම් වැඩි කර ගත් විට අපට අදට වඩා බදු සහන ලබාදීමේ අවකාශය උදා වෙනවා.
රාජ්‍ය වියදම් අඩු කර ගැනීමෙන් ජනතාවගේ බදු බර අඩු කරන්නට පුළුවන් බව සමහරු පවසනවා. නමුත් රාජ්‍ය වියදම්වලින් වැඩි ප්‍රතිශතයක්, එනම් සියයට 35 ක් වැය වෙන්නේ රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවීමටයි. දැනට රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය මිලියන 1.3 ක්. සංඛ්‍යාව වැඩි වුවත් අපට ඔවුන්ව රැකියාවලින් ඉවත් කිරීමට බැහැ. එසේ කළහොත් දැවැන්ත සමාජ අර්බුදයක් නිර්මාණය වෙනවා. ඒ නිසා මෙම ගැටලූවලට ඉතා පරිස්සමින් සහ සංවේදීව අප මුහුණදිය යුතුයි.
හැබැයි අපි රජයේ නාස්තිකාර වියදම් අවම කළ යුතුයි. රජයේ ආයතනවල මොන තරම් මුදල් නාස්තියක් සිද්ධ වෙනවාද? මොන තරම් කාල නාස්තියක් සිද්ධ වෙනවාද? මේවාත් අප වළක්වාගත යුතුයි. රජයේ ආයතනයක වැඩක් කරන්න ගියාම සාමාන්‍ය පුරවැසියෙකුගේ කාලය, ශ්‍රමය සහ මුදල් මොන තරම් අපතේ යනවාද? මෙන්න මේ අඩුපාඩු සහ වැරදිත් අප හදා ගත යුතුයි.
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් නිසා රටේ ජනතාව පීඩා විඳිනවා. ඒවායේ පාඩුව සම්පූර්ණයෙන්ම දරන්නෙ ජනතාව. ඒවා ජාතික සම්පත් කිය කියා තවදුරටත් ඒවායේ බර ජනතාව පිට පටවන දේශපාලන කණ්ඩායම් කරන්නේ රට ආපස්සට ඇදීමක්.
ඒ වගේම දූෂණය හා වංචාව රට පුරා පිළිකාවක් සේ පැතිරිලා. රටේ ධනය හොරකම් කිරීම වැළැක්වීමේ පණත් අප දැන් ඉදිරිපත් කර තියෙනවා. රටේ ධනය සහ සම්පත් සොරකම් කළ බවට විවිධ අයට විවිධ චෝදනා තියෙනවා. හැබැයි රටේ ධනය සහ සම්පත් හොරකම් කළ අය ගැන වගේම රටේ අනාගතය හොරකම් කළ අය ගැනත් අප සිතා බැලිය යුතු වෙනවා.
සමහර දේශපාලන කණ්ඩායම් සාර්ථක ව්‍යාපාර ජනසතු කර රටේ අනාගතය හොරකම් කළා. තවත් සමහරු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වැනි නිරපරාදේ නාස්ති වෙන තැන් වෙනත් රටකට බදු දීමට විරුද්ධ වී රටේ අනාගතය හොරකම් කළා. තවත් සමහරු ඇඟළුම් කර්මාන්තයට විරුද්ධ වී රටේ අනාගතය හොරකම් කළා. වරාය දියුණු කරනවාට විරුද්ධ වී අනාගතය හොරකම් කළා. මේ ලැයිස්තුව තව දිගයි. මතක තියාගන්න. ඒ අයත් කරන්නෙ හොරකම්.
හැම සංවර්ධන ව්‍යාපෘතියකටම විරුද්ධ වෙන දේශපාලන කණ්ඩායම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කරන්න ඉඩ දුන්නේම නෑ. ඒ තෙල් ටැංකි දිරාපත් වෙන්න ඉඩ ඇරියා වගේ ඔවුන්ට අවශ්‍ය නුවරඑළිය තැපැල් කාර්යාලයත් කඩා වැටෙන තත්ත්වයට පත් කරන්න.
නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක කර්මාන්තය සඳහා වෙන් කිරීම හුදෙකලා සිද්ධියක් නෙවෙයි. නුවරඑළිය සංවර්ධන සැලැස්මේ කොටසක්. අනාගතයේ නුවරඑළියේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමේ බලාපොරොත්තුවත් අපට තියෙනවා. තවත් දැවැන්ත ව්‍යාපෘති ගණනාවක් නුවරඑළියේ ක්‍රියාත්මක වෙනවා. මේ සියළු දේ කරන්නේ නුවරඑළියේ පරිසරයත්, එහි ඓතිහාසික ගොඩනැගිලිත් ආරක්‍ෂා කර ගැනීම සඳහායි.
ගාලු කොටුවේ තිබූ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලටත් මේ අය සිද්ධ කළේ මේ දේමයි. දැන් ඒ ගොඩනැගිල්ල කඩා වැටිලා. නිසි අවස්ථාවේ ඒ ගොඩනැගිල්ල සංචාරක කර්මාන්තය වෙනුවෙන් වෙන් කළා නම් ඒ ඓතිහාසික ගොඩනැගිල්ලත් අපට තියෙනවා. විදේශ විනිමයත් ලැබෙනවා.
මෑතකදී මුහුණු පොතේ සුසන්ත ආරියරත්න නැමති ආර්ථික විශ්ලේෂකයා ලියූ සටහනක් මම මෙහෙදී උපුටා දක්වන්න කැමතියි.
“රාජ්‍ය සම්පත් රැකගන්න තියෙන ෆෝමියුලා එක රාජ්‍ය සම්පත්වලට අත නොතබනු කියලා පෙළපාලි යන එක නෙවෙයි. ඒ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්න එකයි. එතකොට ඒවා කාටවත් බරක් වෙන්නේ නෑ.”
අපි මෙතෙක් කල් ක්‍රියා කළේ රාජ්‍ය සම්පත් රැක ගැනීම කියන සටන් පාඨයට මුවාවෙලා ඒවායින් ප්‍රයෝජන නොගැනීම. ඒවා රටට දරන්න බැරි තරම් බරක් බවට පත් කිරීම.
හිතා බලන්න. මෙතෙක් අපේ රටේ ක්‍රියාත්මක වුණු දේශපාලන සහ ආර්ථික සංකල්ප අසාර්ථකයි. කරුණාකර ඒ බව තේරුම් ගන්න. ඔබේ අසල්වැසියාටත් ඒ බව තේරුම් කර දෙන්න. අප අලුත් දේශපාලන සහ ආර්ථික ක්‍රමයක් නිර්මාණය කරගත්තේ නැත්නම් මෙතැනින් එහාට ගමනක් නෑ.
රටේ මෙතෙක් පැවති දේශපාලන ක්‍රමයත්, ආර්ථික ක්‍රමයත් සම්පූර්ණයෙන්ම කණපිට හැරවිය යුතුයි. මම පසුගිය අයවැය ලේඛනයේදීත් ඒ බව පෙන්වා දුන්නා. සුගතපාල ද සිල්වා ‘මරා සාද්’ නාට්‍යයේ කියන පරිදි – කොට්ට උරයක් මෙන් කණපිට හරවා, අලුත් ඇහැකින් බැලියි යුතුයි.
අතීතයේ සිට අපේ රටේ මුල් බැස තිබූ සමාජ සම්මුතිය වූයේ රජය සියලූ දේ සිදු කළ යුතුයි යන්නයි. ඒ නිසා තමයි පුද්ගලික ව්‍යාපාර අඩපණ කරමින්, ඒ ව්‍යාපාර පවරා ගනිමින් සියලු ව්‍යවසායික කාර්යයන්ට රජය මැදිහත් වුණේ. හැබැයි ඒ සමාජ සම්මුතිය අසාර්ථක, යල් පැන ගිය එකක් බව දැන් තහවුරු වෙලා තියෙනවා.
අතීත අත්දැකීම්, ගෝලීය ප්‍රවණතා, අනාගත අභියෝග යන සියල්ල සලකා බලා අපටම අනන්‍ය ආර්ථික හා දේශපාලන ක්‍රමයක් අප නිර්මාණය කරගත යුතුයි. නව සමාජ සම්මුතියක් සකසා ගත යුතුයි.
මේ නව ක්‍රමයට පදනම දමමින් අපි පසුගිය වසර තුළ අනුගමනය කළ නිවැරදි පිළිවෙත් සහ ක්‍රමවේදයන් නිසා ආර්ථිකය සුවපත් වෙමින් පවතිනවා. දැන් හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. සියයට 30 ක් දක්වා ඉහළ නැග තිබූ පොලී අනුපාත දැන් සියයට 15 ක් පමණ දක්වා පහත වැටී තිබෙනවා. විදුලි බලය අඛණ්ඩව සැපයෙනවා. පොහොර හිඟයක් නැහැ. 2021 වසරේ අපේ ප්‍රථමික අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.7 ක්. 2023 මුල් භාගයේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇති කර ගැනීමට අප සමත් වුණා. ගැඹුරු ආර්ථික අවපාතය මැද මේ වසරේ මුල් මාස 6 තුළ බදු ආදායම සියයට 50 කින් ඉහළ නංවා ගන්න අපට පුළුවන් වුණා. 2022 සැප්තැම්බර් මාසයේ සියයට 70 දක්වා ඉහළ නැංවී තිබූ උද්ධමනය පසුගිය ඔක්තෝබර් වෙද්දී සියයට 1.5 දක්වා අඩු වුණා. බිංදුවට වැටී තිබූ විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් දක්වා ඉහළ ගියා. විදේශීය රටවල්වල විශ්වාසය යළි තහවුරු වුණා. හැබැයි යන්න තියෙන දුර තව බොහොමයි.
පසුගිය වසර තුළ වර්ධනාත්මක ප්‍රගතියක් අපට ලබා ගැනීමට හැකි වූයේ මේ රටේ බහුතර ජනතාව රට ගැන වූ අවංක චේතනාවෙන් යුතුව සිදු කළ කැප කිරීම් නිසයි. විවිධ දුෂ්කරතා හමුවේ ඔවුන් පළ කළ ධෛර්යය නිසයි. මෙම දුෂ්කරතා සමනය කරන්නට අවශ්‍ය පසුබිම රජය ක්‍රමානුකූලව ලබා දෙනවා. අපේ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙද්දී, අපේ ආර්ථිකය ස්ථාවර වෙද්දී වඩාත් වැඩි පහසුකම් ජනතාවට සපයන්නට ඇප කැප වෙනවා.
නැවතත් 2022 වසරේ අපේ රට ඇද වැටුණු අපායට වැටෙන්නට අපට බැහැ. සමහර කණ්ඩායම් දිවා රෑ නොබලා උත්සාහ කරන්නේ නැවතත් රට ඒ තත්ත්වයට ඇද දමා ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමටයි. හැබැයි අපට දේශපාලන අරමුණක් නැහැ. අපට ඇති එකම අරමුණ රට ඉහළට ඔසවා තැබීම පමණයි.
මේ අයවැය මැතිවරණ අයවැයක් කියා සමහරු හඳුන්වනවා. එහෙම හඳුන්වන්නේ ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මැතිවරණයත් පවත්වන නිසා. මැතිවරණ අයවැයකින් කරන්නේ ඡන්දය දිනාගැනීමේ අරමුණ ඇතිව කෙළවරක් නැති සහන සහ පඩි වැඩිවීම් ලබා දීම. නිදහසින් පසු අවුරුදු 75 ක කාලය තුළ බොහෝ අවස්ථාවල සිද්ධ වුණේ එයයි.
හැබැයි මේ අයවැය වෙනස්. මේ අයවැය රටේ අනාගතය නිර්මාණය කරන අයවැයක්. වත්මන් ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට අනුකූල නව ආර්ථික ක්‍රමවේදයක පදනම දමන අයවැයක්. සවිමත් අනාගතයක පෙරවදනක්.
මැතිවරණ ජයග්‍රහණයට වඩා මට වැදගත් වෙන්නේ රටේ ජයග්‍රහණයයි. මේ අයවැය රටේ ජයග්‍රහණය වෙනුවෙන් සකස් කළ අයවැයක්. බෞද්ධ ආර්ථික දර්ශනය අනුව සකස් කළ අයවැයක්. සමජීවිකතා සංකල්පය පදනම් කරගෙන රටටත්, රටේ අනාගතයටත් ජය සැලසෙන යෝජනා ගණනාවක් මේ අයවැය ලේඛනයට ඇතුළත් කර තියෙනවා.
මම දැන් 2024 අයවැය යෝජනා මේ ගරු සභාව ඉදිරිපත් කරන්නම්.
1. රාජ්‍ය සේවක වැටුප්
රජයේ සේවකයන්ට 2015 වසරෙන් පසු වැටුප් වැඩි වීමක් ලැබී නැහැ. මේ නිසා රාජ්‍ය අයවැයෙහි සමබරතාවය නොබිඳෙන අයුරින් රාජ්‍ය සේවකයන්ට සහනයක් ලබා දීමට මා යෝජනා කරනවා.
රජයේ සේවකයන් සංඛ්‍යාව මිලියන 1.3 (1,300,000) ක් පමණ වෙනවා. ඔවුන්ගේ පවුල්වල සමස්ත සාමාජික සංඛ්‍යාව මිලියන 5 කට වැඩියි. මේ රජයේ සේවකයන්ට දැනට හිමිවෙන්නේ රුපියල් 7,800 ක ජීවන වියදම් දීමනාවක්. අපි 2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව 17,800 දක්වා රුපියල් 10,000කින් වැඩි කරනවා.
මහා භාණ්ඩාගාරයට වසරේ ආදායම් ලැබෙන්න පටන් ගන්නේ පෙබරවාරි, මාර්තු මාස වන විටයි. ඒ නිසා මේ දීමනාව වැඩි වීම මාසික වැටුපට එකතු කරන්න අපට සිදු වෙන්නේ අප්‍රේල් මාසයේ සිටයි. ජනවාරි සිට මාර්තු දක්වා හිඟ මුදල ලබන ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් මාස හයක් තුළ ලබා දීමට අප පියවර ගන්නවා.
2. විශ්‍රාම වැටුප්
රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන් ගණන 730,000 ක්. ඔවුන්ට දැනට ලැබෙන්නේ රුපියල් 3,525 ක මාසික ජීවන වියදම් දීමනාවක්. අපි රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 6,025 දක්වා රු. 2500 කින් වැඩි කරනවා. මෙම වැඩි වීම 2024 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වනවා. 2024 වසරේ දී රු. බිලියන 386 ක් විශ්‍රාම වැටුප් වෙනුවෙන් වැය කරනවා.
3. වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප
වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප, සේවකයන් සිය මූලික වැටුපෙන් සියයට 6‐7 ක දායකත්වය ලබා දෙනු ලබන දායකත්ව විශ්‍රාම වැටුපක්. වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප ගෙවීම සඳහා රජය වසරකට රු. බිලියන 65 ක් පමණ වැය කරනවා. සේවකයන්ගෙන් වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා වන වාර්ෂික දායකත්වය රු. බිලියන 38 ක් වනවා. එම නිසා, රාජ්‍ය සේවකයන්ගෙන් අය කර ගනු ලබන මුදල වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. 2024 අප්‍රේල් මාසයේ සිට සියලුම සේවා අංශවල මෙම විශ්‍රාම වැටුපට වූ දායකත්වය සඳහා වැටුපෙන් අඩු කරන ප්‍රතිශතය සියයට 8 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. මෙම ගැලපීම මඟින් වසරකට රුපියල් බිලියන 9 ක් එකතු කර ගැනීමට හැකි වෙනවා. එමෙන්ම, වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ අඛණ්ඩතාවය ඒ මඟින් තහවුරු කරගන්නට පුළුවන් වෙනවා.
4. ආහාර හා නවාතැන් දීමනා
පොලිස් සේවයේ නියුතු නිලධාරීන් දුර බැහැර රාජකාරී කටයුතු සඳහා යන එන අවස්ථාවන්හි දී ඔවුන්ට ලබා දෙන ගමන් දීමනාව වර්තමානයට ගැලපෙන්නේ නැහැ. එබැවින් දැනට ක්‍රියාත්මක එම දීමනාව වෙනුවට පොලිස් නිලධාරීන් කණ්ඩායම් තුන සඳහා සුදුසු ගැලපීම් සහිත ආහාර හා නවාතැන් දීමනාවක් ගෙවීමට අප ක්‍රියා කරනවා.
5. ආපදා ණය
රටේ පැවති දුෂ්කර ආර්ථික තත්ත්වය හේතුවෙන්, රාජ්‍ය වියදම සැළකිලිමත්ව කළමනාකරණය කිරීමට ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කළා. එම ක්‍රියාවලිය තුළ, රාජ්‍ය සේවකයන් විසින් මුහුණ දෙන අනපේක්ෂිත හා සූදානම් නොවූ දුෂ්කරතාවයන්වල දී ඔවුන්ට ලබා දෙන ආපදා ණය හිමිකම යම් සීමා කිරීම්වලට යටත් කෙරුණා. 2024 ජනවාරි මස 1 වැනි දින සිට සියලු රාජ්‍ය සේවකයින්ට ආපදා ණය පහසුකම පෙර පරිදිම ලබා දීමට යෝජනා කරනවා.
6. අස්වැසුම
අස්වැසුම ප්‍රතිලාභ ලබා දීම අප ආරම්භ කළේ ලෝක බැංකුව ද ඇතුළු සංවර්ධන හවුල්කරුවන්ගේ සහය ඇතිවයි. නමුත්, ඉදිරි වසරේ අප ජනතාවට ප්‍රතිලාභ සලසන්නේ අපේම මුදලෙන්. මේ වැඩසටහන සඳහා පෙර වසරවල අප වැය කළේ රුපියල් බිලියන 60 ක මුදලක්. දැන් එය රුපියල් බිලියන 183 ක් දක්වා ඉහළ නංවා තියෙනවා. සමාජ ආරක්‍ෂණ වැඩසටහන් සඳහා පෙර වසරවල වැය කළ මුදල මෙන් තුන් ගුණයක් 2024 වසරේ දී අස්වැසුම වැඩසටහන සඳහා වියදම් කිරීමට අපේක්ෂා කරනවා. මේ නිසා ප්‍රතිලාභී පවුල් මිලියන 2 කට සහන සැලසෙනවා.
අස්වැසුම වැඩසටහන පදනම් වන්නේ සාධාරණ තෝරාගැනීමේ නිර්ණායක මතයි. නව වැඩසටහන වෙත මාරු වීමේ දී ඇති වී තිබෙන ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් නිවැරදි කෙරෙමින් පවතිනවා. අසාධාරණයක් සිදු වූ පවුල්වලට සාධාරණය ඉටු කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි. ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වූ, සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ට අතීතයේ සිට බලපැවැත්වෙන පරිදි ගෙවීම් සිදු කිරීමට පියවර ගන්නවා.
සමෘද්ධි නිලධාරීන්ගේ අත්දැකීම් සහ දැනුම අප අස්වැසුම ප්‍රතිලාභීන් සවිබල ගැන්වීම සඳහා උපයෝගී කරගන්නවා.
ආබාධිත පුද්ගලයන් හා වකුගඩු රෝගීන් 130,000 කට පමණ රු. 5,000 ක මාසික දීමනාවක් ගෙවනු ලබනවා. මෙම දීමනාව රු. 7,500 දක්වා වැඩි කිරීමට මා යෝජනා කරනවා. එය සියයට 50 ක වැඩි වීමක්. වැඩිහිටි පුරවැසියන් වෙත දැනට ලබා දෙන රු. 2,000 ක මාසික දීමනාව ද රු. 3,000 දක්වා වැඩි කරනවා. මෙමගින් පුද්ගලයන් 530,000 කට වඩා ප්‍රතිලාභ සැලසෙනවා.
පොරොත්තු ලේඛනයේ සිටි සහ දැනටමත් මූල්‍ය සහය ලබා ගන්නා ප්‍රතිලාභීන් 2024 වසරේ සිට ප්‍රතිලාභීන්ගේ ලේඛනයට ඇතුළත් කර ගන්නවා. මේ සඳහා රුපියල් බිලියන 138 ක් වෙන් කරනවා.
සමහර පවුල් හදිසි ආපදාවන්ට ගොදුරු විය හැක. පවුලේ ආදායම් උපයන්නා මිය යා හැක. අනතුරකට ලක් විය හැක. රැකියා අහිමි විය හැක. ඒ වගේ අවස්ථාවන්වල මුළු පවුලම අසරණ වෙනවා. මෙන්න මේ වගේ පවුල්වලට වර්තමාන ක්‍රමය අනුව අස්වැසුම ලබා ගන්න සෑහෙන කලක් බලා සිටින්නට සිද්ධ වෙනවා. නමුත් අප ඉදිරියේ දී මාස 6කට වරක් අස්වැසුම ප්‍රතිලාභීන් සමාලෝචනයකට ලක් කරනවා. අලුත් පවුල් ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභී ලැයිස්තුවට එක් කර ගැනීමේ අවකාශය මෙමඟින් උදාවෙනවා.
අස්වැසුම වැඩසටහන සහ ආබාධිත පුද්ගලයන්, වකුගඩු රෝගීන් හා වැඩිහිටියන් සඳහා වන දීමනා සඳහා වෙන් කරන මුදල ලබන වසරේ දී රුපියල් බිලියන 205 දක්වා වැඩි කරනවා.
ගර්භනී මව්වරුන් වෙත රුපියල් 4,500 ක මාසික දීමනාවක් ලබාදීමේ ක්‍රමවේදයේ අඩුපාඩු සහ දුර්වලතා රැසක් අප හඳුනාගෙන තියෙනවා. එම අඩුපාඩු සකසා මෙම වැඩසටහන වඩා ක්‍රමවත් කරන්නට රුපියල් බිලියන 10 ක් දැනටමත් වෙන් කර තිබෙනවා.
7. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය
ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගත තත්ත්වයන් හේතු කොට ගෙන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායයන් දැවැන්ත අර්බුදයකට ලක් වුණා. මෑතක දී කළ සමීක්‍ෂණයකින් හෙළි වුණේ මෙවන් ව්‍යවසායන්ගෙන් සියයට 20 ක් පමණ තාවකාලිකව හෝ ස්ථිරව වසා දමා ඇති බවයි. එමෙන්ම දැනට ක්‍රියාත්මක වන ව්‍යවසායයන්ගේ කාර්යසාධන පරිමාවේ පහළ යාමක් ද එම සමීක්‍ෂණයෙන් අනාවරණය වුණා. නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමන තව තවත් වේගවත් කිරීමට අපට අවශ්‍යයි. ඒ නිසා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට තව තවත් ශක්තිය, ධෛර්යය හා පහසුකම් ලබා දිය යුතුයි. මේ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ද ඇතිව රුපියල් බිලියන 30 ක පමණ සහනදායී ණය පහසුකමක් අප හඳුන්වා දෙනවා.
මෙම වැඩසටහන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා විශාල අනුබලයක් ලබා දෙන ක්‍රියාමාර්ග ගණනාවක පළමු අදියරයි. සහන ණය පහසුකම්වලට අමතරව එයට සහභාගී වන ආයතන සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මක කරනවා. කාර්මික ක්ෂේත්‍රයන්හි විශාල සමාගම්වල අගය දාමයන් සමඟ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සම්බන්ධ කිරීමට ක්‍රියාමාර්ග ගන්නවා. මේ සඳහා වන ප්‍රතිපාදන අයවැය 2024 සඳහා වෙන් කර ඇත.
ඒ අනුව, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය සඳහා වෙන්වන මුළු මුදල රුපියල් බිලියන පණහක්. මේ නිසා, රුපියල් බිලියන 250 ක පමණ වටිනා මූල්‍ය වපසරියක් නිර්මාණය වෙනවා.
8. “උරුමය වැඩසටහන”
1897 දී ලංකා මුඩුබිම් ආඥා පනත සම්මත වුණා. ඒ යටතේ රට පුරා ගැමි ඉඩම් අක්කර දහස් ගණනක් බ්‍රිතාන්‍ය රජය අත්පත් කර ගත්තා. ඉන් පසුව, 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගොවියන්ට බලපත්‍ර ක්‍රම මඟින් එම ඉඩම් කොටස් ලබා දුන්නා. හැබැයි අවුරුදු සියයකට ආසන්න කාලයක් ගෙවී ගියත්, මේ ගොවි බිම්වල අයිතිය ඒවා හිමි ගොවි ජනතාවට යළි පවරා දීමක් සිදු වුණේ නෑ. හුණුවටයේ කතාව නාට්‍යයේ කියැවෙන පරිදි, “ගොවි දන මනා වූ; ලැබිය යුතු වූ සේම ගම්බිම්” අප ඒ ගම්බිම් යළිත් ගොවි ජනතාවගේ පුද්ගලික අයිතියට පවරා දෙනවා. බ්‍රිතාන්‍ය සමයේ පාරම්පරික ඉඩකඩම් අහිමි වූ ගොවි ජනතාවට යළිත් ඒ ගොවි බිම්වල පූර්ණ පුද්ගලික අයිතිය අපි ලබා දෙනවා. මෙම කාර්යය 2024 වර්ෂයේ ආරම්භ කොට තවත් වසර කීපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම නිම කිරීම අපගේ අපේක්‍ෂාවයි. පවුල් ලක්‍ෂ විස්සකට (2,000,000) මෙමඟින් ඉඩකඩම් හා ගොවිබිම් අයිතිය ලැබෙනවා. මේ වෙනුවෙන්, රුපියල් බිලියන 2 ක් වෙන් කරනවා.
9. නාගරික නිවාස හිමිකම
විවිධ නාගරික වැඩසටහන් යටතේ ඉදිකරන ලද නිවාස අඩු ආදායම්ලාභී පවුල්වලට කුලී පදනම මත ලබා දී තිබෙනවා. රුපියල් 3,000 ක පමණ මාසික කුලියක් ඒ පවුල් වෙතින් ලබා ගන්නවා. මේ පවුල්වලින් කුලී අය කර ගැනීම මම සම්පූර්ණයෙන්ම නවත්වනවා. ඒ විතරක් නෙවෙයි, මේ නිවාසවල පූර්ණ අයිතිය ඒ පවුල්වලට ලබාදීමට ක්‍රියා කරනවා. 2024 වර්ෂයේ දී පවුල් 50,000 කට ආසන්න සංඛ්‍යාවකට මෙම නිවාසවල අයිතිය ලබා දෙනවා.
ඉඩම් සහ නිවාස අයිතිය ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කොට අවසන් වන විට මේ රටේ ජනතාවගෙන් සියයට 70 ක් පමණ දෙනා ඉඩම් හා නිවාසවල උරුමකරුවන් බවට පත්වෙනවා.
10. වතුකරයේ නිවාස
වතුකරයේ ජීවත් වන්නේ ඉඩම් හිමි ජනතාවක් නෙවෙයි. ඒ නිසා ඔවුන්ට නිවාස තනා දීම සඳහා ඉඩම් අයිතිය හිමි කර දීමට අප පියවර ගන්නවා. මෙහි ආරම්භක පියවර වශයෙන් රුපියල් බිලියන 4 ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
11. බිම්සවිය
1998 වර්ෂයේ ආරම්භ කරන ලද බිම්සවිය වැඩසටහන යටතේ මිලියන 12 ක් පමණ වූ ඉඩම් කට්ටි අතරින් මේ වන විට ඉඩම් කට්ටි මිලියනයක් පමණ ආවරණය කර තියෙනවා. මෙම වැඩසටහන කඩිනමින් නිම කිරීම පිණිස අවශ්‍ය පහසුකම් සලසා දීම පිණිස රුපියල් මිලියන 600 ක ප්‍රතිපාදන වෙන් කරනවා.
12. විමධ්‍යගත අයවැය
රටේ පැවති දුෂ්කර තත්ත්වය හා විමධ්‍යගත අයවැය වැඩසටහන සඳහා අතීතයේ දී ප්‍රමාණාත්මක අරමුදල් නොමැති වීම හේතුවෙන්, ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණා. මෙම වැඩසටහන තාවකාලිකව අත්හිටුවීම නිසා ග්‍රාමීය වශයෙන් සංවර්ධන කටයුතුවලට දායක වීමට මහජන නියෝජිතයන්ට හැකි වූයේ නෑ. අප යළිත් විමධ්‍යගත අයවැය වැඩපිළිවෙල ආරම්භ කරනවා. මේ සදහා රුපියල් මිලියන 11,250 ක මුදලක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා ලබා දෙනවා. ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රමවත් හා විධිමත් පිළිවෙතක් ඔස්සේ මෙය ක්‍රියාවට නංවනවා.
13. ″කඳුකර දශකය″
විවිධ හේතු නිසා සම්පත් බෙදී යාමේ විෂමතාවයන් හේතුවෙන් කඳුකර ප්‍රදේශවල පොදු යටිතල පහසුකම් හා සේවාවන්හි වර්ධනය සාපේක්ෂව අඩුයි. මෙම විෂමතාවයන් පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය සම්බන්ධයෙන් ද දක්නට ලැබෙනවා. කඳුකර ප්‍රදේශවල ග්‍රාමීය සංවර්ධනයට ප්‍රමුඛතාවය දීමේ වැදගත්කම රජය විසින් හඳුනාගෙන තිබෙනවා. සබරගමුව හා මධ්‍යම පළාත්වල මෙන්ම බදුල්ල, ගාල්ල, මාතර, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල කඳුකර ප්‍රදේශවලට අයත් සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 89 ඇතුළත් දස වසරක බහුකාර්යය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහනක් 2024 වසරේ ආරම්භ කරනවා. මේ සඳහා 2024 වසරට රුපියල් බිලියන 10 ක් වෙන් කරනවා.
14. සංවර්ධන ව්‍යාපෘති යෝජනා අනුමත කිරීම
අප සංවර්ධන ව්‍යාපෘති අනුමත කරලීම සඳහා නව යාන්ත්‍රණයක් හඳුන්වා දී තිබෙනවා. නව ව්‍යාපෘති සමාලෝචනය සඳහා රාජ්‍ය කමිටුවක් ස්ථාපනය කර තිබෙනවා. එම කමිටුවේ නිර්දේශ අනුව මුදල් ඇමතිවරයා ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා දෙනවා. මේ ක්‍රමවේදයෙන් බැහැරව සිදු කරන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මුදල් වෙන් කරන්නේ නෑ.
ආර්ථික වර්ධනය කෙරෙහි ඉහළ දායකත්වයක් ලබාදීමට හැකිවන අයුරින් රජයේ ප්‍රාග්ධන වියදම් යෙදවීමට මෙමඟින් හැකිවෙනවා. රාජ්‍ය මූල්‍ය සහ ණය තිරසරභාවය සඳහා මෙය ඉතා වැදගත්. මේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා 2024 අයවැයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා වන ප්‍රතිපාදන රුපියල් බිලියන 1,260 ක් දක්වා ඉහළ නංවනවා. එනම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 ක්.
ආර්ථික අර්බුදය නිසා ව්‍යාපෘති ගණනාවක් වැඩ කටයුතු තාවකාලිකව නවතා දමා තියෙනවා. මෙම ව්‍යාපෘති යළි ආරම්භ කර නිම කිරීමට සහ මා විසින් අයවැය කතාවේ දී ඉදිරිපත් කළ ප්‍රාග්ධන වියදම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට තවත් රුපියල් බිලියන 55 ක අතිරේක ප්‍රතිපාදන යොදවනවා.
මේ මුදල අප ලබා ගන්නේ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂය වෙතින් රුපියල් බිලියන 55 ක් ප්‍රාග්ධන වියදම් ශීර්ෂය වෙත මාරුකිරීම මගින්. එවිට ඉදිරි වසරේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් අප යොදවන ප්‍රාග්ධනය රුපියල් බිලියන 1,260 ක්.
ඒ වගේම විදේශ ණය සහ ආධාර මත සිදු කෙරුණු ව්‍යාපෘති ගණනාවක්ද අතරමග නැවතී තියෙනවා. විදේශීය ණය ප්‍රතිව්‍යව්‍යුහත කිරීමේ කාර්යයන් සාර්ථක වූ පසු ඒ ව්‍යාපෘති නැවත ඇරඹිමේ අවස්ථාව අපට හිමි වෙනවා.
සංවර්ධන ව්‍යාපෘති වලින් අපේක්ෂිත අරමුණු නිසි කලට ඉටුකිරීමට ව්‍යාපෘති කළමනාකාරණ කමිටු අපොහොසත් වී ඇති බව පෙනී යනවා. එබැවින්, සෑම අමාත්‍යාංශයකම 2024 වසරේ සිට ඒ සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමටත්, ව්‍යාපෘතිවලට අදාළ කාර්යයන් ස්ථිර කාර්ය මණ්ඩලයේ රාජකාරි ලැයිස්තුව තුළට අන්තර්ගත කිරීමටත්, රාජ්‍ය සේවය තුළින් අදාළ අත්‍යාවශ්‍ය විශේෂඥ පිරිස් සපයාගත නොහැකි අවස්ථාවන්වල පමණක් අවශ්‍ය මානව සම්පත් කොන්ත්‍රාත් හෝ පැවරුම් පදනමින් ප්‍රසම්පාදන කිරීමටත් මා යෝජනා කරනවා.
15. ග්‍රාමීය මාර්ග
පසුගිය වසර කිහිපයේ සිටම ග්‍රාමීය මාර්ග නිසි ලෙස නඩත්තු කිරීමේ සහ කළමණාකරණය කිරීමේ අසීරුතාවන් ඇති වුනා. අබලන් වූ ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 10 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
16. ස්වාභාවික විපත්
පසුගිය මාස කිහිපය තුළ අපට අයහපත් කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වුණා. ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙරට මාර්ග පද්ධතියටත් පාලම් ගණනාවකටත් හානි සිදුවුණා. මේ ස්වභාවික විපත් හේතුවෙන් හානියට පත් මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 2,000 ක් වෙන් කරනවා.
17. පානීය ජලය
රටේ හැම පළාතකම පානීය ජලය පිළිබඳ ගැටළු තියෙනවා. විමධ්‍යගත අරමුදල් යෙදවීමේ දී හා විදේශ ණය ආධාර ලබා ගැනීමේ දී අප පානීය ජල ව්‍යාපෘතීන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනවා.
අධ්‍යාපනය
රටක අනාගතය සශ්‍රීක කරගන්න පුළුවන් වෙන්නේ යුගයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමෙන්. අපේ රටේ පැවතෙන්නේ යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමයක්. කටපාඩම් කරන්නන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක්. මේ ක්‍රමය යටතේ නිර්මාණශීලීන් බිහිවෙන්නේ නෑ. ඒ වගේම නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ පූර්ණ වශයෙන් ජනතාවට ලැබෙන්නෙත් නැහැ.
ඒ නිසා අපි පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනවා. මේ නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීම සඳහා අපි විද්වතුන් 25 දෙනෙකුගේ කණ්ඩායමක් පත් කළා. එම යෝජනා මගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල කමිටුවක මඟ පෙන්වීම මඟින් වඩාත් ඔපවත් කළා. මෙම ප්‍රතිපත්ති රාමුව දැන් අමාත්‍ය මණ්ඩලය විසින් සම්මත කර තිබෙනවා.
ඒ ප්‍රතිසංස්කරණ ඔස්සේ පිහිටුවන ප්‍රධාන ආයතන කිහිපයක් පිළිබඳව මම මේ සභාවට දැනුම් දෙන්නට කැමතියි. අධ්‍යාපනය පිළිබඳ ජාතික උසස් කවුන්සිලය, ජාතික උසස් අධ්‍යාපන කොමිසම, ජාතික නිපුණතා කොමිසම. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සවිස්තර තොරතුරු අධ්‍යාපන ඇමතිතුමා විසින් ඉදිරි සති දෙක තුළ මේ සභාවට ගෙනහැර දක්වාවි.
මෑතකදී අජානා රණගල මුහුණු පොතේ ලියා තිබූ මේ සටහන මගේ අවධානයට ලක්වුණා.
“දේශීය විශ්ව විද්‍යාලයකට යෑමේ අභිප්‍රායෙන් දේශීය විෂය ධාරාවෙන් උසස් පෙළ කිරීමට තෝරා ගැනීම වෙනුවෙන් මගේ දරුවා දින, සති, මාස මතු නොව අවුරුදු වලින් වන්දි ගෙවමින් සිටියි. ජාත්‍යන්තර විෂය ධාරාව හැදෑරූ ඔහුගේ මිතුරෝ උසස් අධ්‍යාපනය සඳහා විදෙස් ගතවෙති”
මේ තමයි සැබෑ තත්ත්වය. ඒ නිසා අපි උසස් පෙළ සමත් වෙන හැම දරුවෙකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොපමාව ලබා ගැනීමේ අවස්ථාව උදා කරනවා.
18. විශ්වවිද්‍යාල විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය පුළුල් කිරීම
වර්තමානයේ තාක්ෂණික ක්ෂේත්‍ර වෙනුවෙන් ඇති ප්‍රවණතාවන්ද සැලකිල්ලට ගනිමින් අප නව විශ්වවිද්‍යාල හතරක් පිහිටුවීමට පියවර ගන්නවා.
(අ). සීතාවක විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය (මෙයට ලලිත් ඇතුළත්මුදලි පශ්චාත් උපාධි ආයතනය ඇතුළත් කරනවා.)
(ආ). කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යටතේ කුරුණෑගල තාක්ෂණ විශ්වවිද්‍යාලය
(ඇ). කළමනාකරණ හා තාක්‍ෂණ විශ්ව විද්‍යාලය
(ඈ). ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය
එමෙන්ම, පහත සඳහන් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ නීති රීති සම්මත කළයුතු යැයි මම යෝජනා කරනවා.
(අ). එන් එස් බී එම්
(ආ). ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIT)
(ඇ). හොරයිසන් කැම්පස්
(ඈ). රෝයල් ඉන්ස්ටිටියුට්
13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලටත් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ බලය ලබා දී තිබෙනවා. ඉදිරියේ දී පළාත් සභා මඟින් ද විශ්වවිද්‍යාල ආරම්භ කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
19. ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලය
අධ්‍යාපන විද්‍යාපීඨ 19 ක් ඒකාබද්ධ කර අධ්‍යාපනය සඳහා කැපවුණු අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීමට මම යෝජනා කරනවා. දැනට ක්‍රියාත්මක විද්‍යා පීඨයක අවුරුදු 4 ක පාඨමාලාව නිම කළ පසු අදාළ ප්‍රමිතීන්ට අනුගත වෙමින් අධ්‍යාපනවේදී උපාධිය මෙම නව විශ්ව විද්‍යාලය මඟින් පිරිනැමෙනවා. පියවරෙන් පියවර මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර 2024 සඳහා මේ වෙනුවෙන් රුපියල් බිලියනයක් වෙන් කරනවා.
20. නව තාක්‍ෂණික විශ්ව විද්‍යාලය
ඉන්දියාවේ චෙන්නෙයි නගරයේ පිහිටි අයි අයි ටී විශ්ව විද්‍යාලයේ මඟපෙන්වීම යටතේ මහනුවර නගරයේ නව තාක්‍ෂණ විශ්ව විද්‍යාලයක් ආරම්භ කරනවා. මේ සඳහා ඉන්දියාව අපට පූර්ණ සහය ලබා දෙනවා.
21. රාජ්‍ය විශ්ව විද්‍යාල
රාජ්‍ය විශ්ව විද්‍යාල නව යුගයට ගැලපෙන පරිදි වැඩිදියුණු කරලීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මෙය ආරම්භ කරන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්.
2042 වර්ෂයේ යෙදෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශත සංවත්සරය ඉලක්ක කර ගනිමින් සිදු කරන මේ වැඩපිළිවෙලේ ආරම්භක සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබන වර්ෂය සඳහා රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යා අංශය, ජාතික අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යා ආයතනය ලෙස උසස් කරනවා. ඒ සදහා අවශ්‍ය වන විද්‍යාගාර හා අනෙකුත් පහසුකම් දියුණු කිරීමේ වැඩ සැලසුමට ඉදිරි වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 40 ක් වෙන් කරනවා.
ඉන් පසුව අපේ අවධානය යොමු වෙන්නේ කොළඹ, කැළණිය සහ මොරටුව විශ්වවිද්‍යාල වෙතට. ඒ සඳහා විධිමත් සැලසුම් සකස් කොට ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා.
22. රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල
රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල නියාමනය සඳහා බලවත් නීති රීති මාලාවක් සම්මත කර ගැනීමෙන් පසු අප ලෝකයේ ඕනෑම පිළිගත් විශ්ව විද්‍යාලයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට ලංකාවේ විශ්ව විද්‍යාල පිහිටුවීමට අවසර දෙනවා. උසස් පෙළ සමත් වෙන හැම දරුවෙකුටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමට වගේම විදේශීය දරුවන් මඟින් විදේශ විනිමය උපයා ගැනීමටත් මෙමඟින් අවකාශ උදාවෙනවා.
මෙම රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය ලබන දරුවන්ට ණය පහසුකම් ලබා දෙනවා. දැනට ක්‍රියාත්මක පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට අමතරව වාණිජ බැංකු හරහා සහනදායී ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මා යෝජනා කරනවා. රැකියාවක් ලබා ගැනීමෙන් පසු ඒ ණය ආපසු ගෙවන්නට අවකාශ සලසනවා.
23. ජාතික උසස් අධ්‍යාපන කොමිසම
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව ඒකාබද්ධ කොට ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපිත කරනවා. උසස් අධ්‍යාපනය පුළුල් හා ශක්තිමත් කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම මෙන්ම නියාමන බලතල ද එම කොමිසමට ලබා දෙනවා.
24. ජාතික නිපුණතා කොමිසම
වත්මන් අභියෝගයන්ට අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ජාතික නිපුණතා කොමිෂන් සභාවක් පිහිටුවනවා. ඒ යටතේ, වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය ආදී ආයතන ඒකාබද්ධ කරනවා.
25. පළාත් සභා සඳහා වෘත්තීය අධ්‍යාපනය
දැනට මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය අධ්‍යාපන ආයතන පළාත් සභා නවය වෙත පැවරීමට මා යෝජනා කරනවා. නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රය දියුණු කිරීම හා නවීකරණය කිරීම සඳහා පළාත් අධ්‍යාපන මණ්ඩල පිහිටුවනවා. ඉදිරියේ දී වෘත්තීය අධ්‍යාපන කටයුතු නියාමනය කිරීම සඳහා මධ්‍යම රජයෙන් අවශ්‍ය මගපෙන්වීම පමණක් සපයන අතර අධ්‍යාපන හා පුහුණු කාර්යයන් සහ සේවා සියල්ල ක්‍රියාත්මක කරන්නේ පළාත් සභා මගින්.
තාක්ෂණික වෘත්තීය කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුදලක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ඒ සඳහා දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. මෙම ආයතන සඳහා දැනට වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අමතරව ඉදිරි වර්ෂයේ දී රුපියල් මිලියන 450 ක් වෙන් කරනවා.
26. තොරතුරු තාක්‍ෂණ පුහුණුව
තොරතුරු තාක්‍ෂණයට සම්බන්ධ පුද්ගලික ආයතන සමග එක්වී රැකියා අපේක්‍ෂිත උපාධිධාරීන් පුහුණු වැඩසටහනක් දියත් කරනවා. මේ උපාධිධාරීන්ට අවම මාස 6 ක කාලයක් තුළ පුහුණුව සහ සේවා පළපුරුද්ද ලබා දෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 750 ක් වෙන් කරනවා.
ඉදිකිරීම්, සාත්තු සේවා, සංචාරක වැනි අනෙකුත් නිපුණතා හිඟයන් පවතින ක්ෂේත්‍ර සඳහාත් මෙවැනි පුහුණු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.
27. තරුණ සහ වැඩිහිටි අධ්‍යාපනය
විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් නොලබන තරුණ ප්‍රජාවට දේශීය හා විදේශීය රැකියා ලබා ගැනීමට අවකාශ සැලසිය යුතුයි. ඒ වගේම රාජ්‍ය සේවයේ සහ පුද්ගලික අංශයන්හි රැකියා කරන වැඩිහිටියන්ට නව දැනුම ලබා ගැනීමට අවශ්‍ය පසුබිමද සකස් කළ යුතුයි. මේ අරමුණු ඉලක්ක කර ගත් පුහුණු පාඨමාලා සහ සේවාවාන් සැපයීමට අවශ්‍ය තාක්‍ෂණික හා භෞතික නවීකරණ කටයුතු උදෙසා ශ්‍රී ලංකා පදනමට රුපියල් මිලියන 150 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
28. සැමට ඉංග්‍රීසි
ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාවය පුළුල් කිරීම පිණිස ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීම අවශ්‍යයි. 2034 වන විට දී ඉංග්‍රීසි භාෂා සාක්‍ෂරතාව සැමට ලබා දීම මෙහි අරමුණයි. දස වසරක් පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඇරඹීමට රුපියල් මිලියන 500 ක් වෙන් කරනවා.
29. සුරක්‍ෂා
2016 වසරේ දී හඳුන්වා දෙන ලද දැනට ක්‍රියාත්මක නොවන සුරක්‍ෂා සිසු රක්ෂණ යෝජනා ක්‍රමය නැවත හඳුන්වා දීමට යෝජනා කරනවා. ඒ අනුව, සියලු පාසල් සිසුන් හට මෙම රක්ෂණ අවාරණය ලබා ගැනීමට හිමිකම ලැබෙනවා.
සෞඛ්‍ය සේවා
සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය රැක ගැනීම උදෙසා අප කැපවෙනවා. අඩුපාඩු, දුර්වලතා සහ අර්බුද හඳුනාගෙන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා පියවර ගැනීමට අප ක්‍රියා කරනවා.
30. ඖෂධ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ
ඖෂධ ප්‍රසම්පාදනය කිරීම සම්බන්ධයෙන් සුවිශේෂී මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ ඒ සඳහා වෙනමම ආයතනයක් පිහිටුවීම කෙරෙහි අපේ අවධානය යොමු වී තියෙනවා. මේ පියවර අප ගන්නේ රජයේ ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විස්තරාත්මක අධ්‍යයනයක් සිදු කිරීමෙන් පසුවයි.
31. වෛද්‍ය හා සෞඛ්‍ය පර්යේෂණ
ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ලෝකයේ සෙසු රටවල්වල මට්ටමට ගෙන ඒම සඳහා වෛද්‍ය හා සෞඛ්‍ය පර්යේෂණ සඳහා ආයෝජන වැඩි කිරීමට මා බලාපොරොත්තු වනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ යටිතල පහසුකම් හා රසායනාගාර පහසුකම් ශක්තිමත් කිරීමේ මුල් අදියර සඳහා රුපියල් මිලියන 75 ක් වෙන් කරනවා.
ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණ රසායනාගාරයේ පහසුකම් වැඩි දියුණු කිරීමට තුන් වසරක සැලැස්මක් යටතේ ලබන වසරට රුපියල් මිලියන 25 ක් වෙන් කරනවා.
32. බදුල්ලට හෘද පෙනහලු පුනර්ජීවන ඒකකයක්.
ඌව පළාතේ කිසිදු රෝහලක හෘද පෙනහලු පුනර්ජීවන පහසුකම් නැහැ. අප මේ අඩුපාඩුව සම්පූර්ණ කරනවා. බදුල්ල ශීක්ෂණ රෝහලේ පුනර්ජීවන ඒකකයක් ස්ථාපිත කිරීම සඳහාත්, ඊට අවශ්‍ය උපකරණ මිල දී ගැනීම සඳහාත් රුපියල් මිලියන 300 ක මුදලක් වෙන් කරනවා.
33. වෛද්‍ය නිළධාරීන් සඳහා උසස්වීම්
විශේෂඥ වෛද්‍යවරුන් සහ ශ්‍රේණිගත වෛද්‍යවරුන් දෙපාර්ශ්වයටම ගැලපෙන පරිදි උසස් වීම් ක්‍රමවේදයක් සඳහා අවශ්‍ය සංශෝධන සිදු කිරීම කඩිනම් කරනවා.
34. පශ්චාත් උපාධි අවස්ථා
වෛද්‍යවරුන්ගේ වෘත්තීයභාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් 2023 අයවැය මඟින් වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි අවස්ථා පුළුල් කිරීමේ යෝජනා අප ඉදිරිපත් කළා. දැනට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාලයන්ට අමතරව ලබන වසරේ සිට කැළණිය, ශ්‍රී ජයවර්ධනපුර සහ රජරට විශ්ව විද්‍යාල ද එම වැඩපිළිවෙළට ඇතුළත් කරනවා.
පාරම්පරික වෙදකම
අප දේශීය වෛද්‍යවේදය ශක්තිමත් කරන්නත්, ප්‍රචලිත කරන්නත් ක්‍රියා මාර්ග ගන්නවා.
35. ශ්‍රී ලාංකේය සුවතාව
පාරම්පරික වෙද වට්ටෝරුවලින් තැනූ දේශීය ඖෂධ, ආහාර අතිරේක, ඖෂධීය විලවුන් හා ශාකසාර අමුද්‍රව්‍යවලට ජාත්‍යන්තර ඉල්ලූමක් තියෙනවා. මේ අවස්ථාව හරියාකාරව පාවිච්චි කළොත් තව තවත් ජාත්‍යන්තර වෙෙළඳපොල පුළුල් කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ සහ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අධීක්ෂණය යටතේ එවැනි ආයෝජනයන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට අප ක්‍රියා කරනවා.
සංචාරකයන් වෙත දේශීය හා ආයුර්වේද සත්කාර ලබාදීම සඳහා, “ශ්‍රී ලාංකේය සුවතාව” යන සංකල්පය අනුව සංචාරක හෝටල්, නිවාඩු නිකේතන තුළ සත්කාර මධ්‍යස්ථාන පිහිටුවීමට සැලසුමක් දියත් කරනවා. මේ සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කරනවා.
කෘෂි හා ධීවර කර්මාන්ත නවීකරණය
නව ආර්ථිකය යටතේ කෘෂිකර්මය තරගකාරී මට්ටමකට ඔසවා තැබිය යුතුයි. අගය වැඩි කෘෂි නිෂ්පාදන බිහි කළ යුතුයි. අපනයන ඉලක්ක කරගනිමින් කෘෂිකර්මය නවීකරණය කළ යුතුයි.
කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘති, කුඩා වතු හිමි කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව මූලාරම්භයන් සහ බෝග විවිධාංගීකරණය සඳහා මේ අයවැය මගින් මුදල් වෙන් කරනවා.
එසේම ධීවර කර්මාන්තය නගාසිටුවීම සඳහාත් පෝෂණය කිරීම සඳහාත්, නවීන තාක්‍ෂණ දැනුම ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීම ගැනත් අප විශේෂ වැඩ සැලසුම් දියත් කරනවා.
36. කෘෂි හා ධීවර නවීකරණ මණ්ඩල
කෘෂි හා ධීවර අංශ දියුණු කිරීමට සහාය වීම සඳහා පළාත් කෘෂි සහ ධීවර නවීකරණ මණ්ඩල පිහිටුවනු ලබනවා. සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන, කෘෂිකර්ම නවීකරණ කේන්ද්‍රස්ථාන ලෙස වැඩි දියුණු කරනවා. මේ සඳහා රජය, පෞද්ගලික අංශය, ගොවීන්, කෘෂි විද්‍යාඥයින්ගෙන් සමන්විත ඒකාබද්ධ වැඩසටහනක් 2023/24 මහ කන්නයේ සිට ක්‍රියාත්මක කරනවා. මේ කාර්යයන් සඳහා රුපියල් මිලියන 2,500 වෙන් කිරීමට මා යෝජනා කරනවා.
මෙහි අරමුණ වී නිෂ්පාදනය හෙක්ටාරයකට මෙට්‍රික් ටොන් 3.5 සිට 8 දක්වා ඉහළ නැංවීමයි. මෙමඟින් වියලි කළාපයේ වී අස්වැන්න ඉහළ ඵලදායී තත්ත්වයකට පත් කර ගනිද්දී වගා නොකරන කුඹුරු වෙනත් ප්‍රයෝජනවත් වගා කටයුතු සඳහා උපයෝගී කර ගැනීමේ අවස්ථාව අපට උදා වෙනවා.
තෙත් කලාපීය ප්‍රදේශයන් හි මඩ ඉඩම්වල වී වගාවේ ඵලදායීතාවය ඉතා අඩු මට්ටමක පවතිනවා. එම ඉඩම්වල වී වගාවෙන් බැහැරව වෙනත් බෝගයක් වගා කිරීමට ද නීතිමය ඉඩකඩක් නැහැ. කිසිදු වගාවක් නොකර මුඩු බිම් ලෙස පැවතෙන එවැනි ඉඩම්වල වෙනත් වගාවක් සිදු කිරීම පිණිස පවතින නීතිමය බාධාවන් ඉවත් කළ යුතු යැයි මා යෝජනා කරනවා.
ඊට අමතරව මහා පරිමාණයේ කෘෂිකාර්මික කටයුතු සඳහා රාජ්‍ය වැවිලි සංස්ථාව, මහවැලි ඒ සහ බී කලාප, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ආදී රාජ්‍ය ආයතන සතු ඉඩම්වලින් අක්කර ලක්‍ෂ 3 ක් වෙන් කරනවා.
37. ධීවර අංශය
ධීවර අංශයේ ඵලදායිතාව ඉහළ නැංවීම, ධීවර ජීවනෝපාය සහ ආදායම් වැඩිදියුණු කිරීමේ වඩාත්ම තිරසාර මාර්ගයයි. මේ සඳහා රජය ධීවර වරායන් කළමනාකරණයේ දී පෞද්ගලික අංශය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ආරම්භ කරනවා. නාස්තිය අවම කිරීම සහ ඵලදායිතාව ප්‍රශස්ත කිරීම සඳහා අවශ්‍ය වන ගබඩා ඇතුළු යටිතල පහසුකම් මේ ඔස්සේ සංවර්ධනය කර ගැනීමට පුළුවන්.
රටේ සමස්ත මත්ස්‍ය අස්වැන්නෙන් සියයට 35 ක් පමණ ලැබෙන්නේ උතුරු මුහුදු ප්‍රදේශයෙන්. ඒ කාර්යයන් අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 500 ක් වෙන්කරනවා.
ශ්‍රී ලංකාවේ සමස්ත මත්ස්‍ය අස්වැන්නෙන් සියයට 29 ක් ලැබෙන්නේ මිරිදිය ධීවර හා ජලජීවී වගා අංශය මඟින්. ශ්‍රී ලංකාවේ ස්ථිර හා තාවකාලික ජලාශ 12,000 ක් පමණ තියෙනවා. මුළු ජලාශ ප්‍රමාණය හෙක්ටයාර් 260,000 ක් පමණ වෙනවා. මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම උදෙසා රුපියල් මිලියන 200 ක් වෙන් කර තිබෙනවා. මෙම වැඩසටහනේ තිරසාර බව ඉදිරියේ දී පවත්වාගෙන යාම සඳහා ප්‍රජා සහභාගීත්වය තුළින් චක්‍රීය අරමුදලක් පිහිටුවීම මඟින් ධීවර ප්‍රජාව දිරිමත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට තවදුරටත් යෝජනා කරනවා.
38. වැව් ප්‍රතිසංස්කරණය කිරීම
කුඩා වැව් රටේ වාරිමාර්ග හා කෘෂිකර්මාන්තයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. දේශගුණික විපර්යාසවල බලපෑම් සමඟ මෙය වඩාත් වැදගත් වෙනවා. කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම් ඒ ඒ ප්‍රදේශයන්හි ගොවි කමිටු වෙත පැවරීය යුතු යැයි මා යෝජනා කරනවා. ඊට අවශ්‍ය බලය සහ සහය අප ගොවි කමිටු වෙත ලබා දෙනවා. එවිට පුද්ගලික අංශය සමග එක්ව කුඩා වැව් ප්‍රතිසංස්කරණය කිරීමට ඔවුන්ට පුළුවන්. මේ ක්‍රියාමාර්ග ඔස්සේ ගොවි නිෂ්පාදන ඉහළ නැංවීම අපේ අරමුණයි.
39. කිරි නිෂ්පාදන
කිරි ගොවීන් බහුතරයක් වර්තමානයේ එම කර්මාන්තයේ නිරත වෙන්නේ ජීවනෝපායක් හැටියටයි. නමුත් අප එය ලාභ ලබන කර්මාන්තයක තත්වයට ඉහළ නංවා කිරි ගොවීන්ට ඉහළ ආදායමක් ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසිය යුතුයි. මේ සඳහා ප්‍රාග්ධන ආයෝජන වැඩි කිරීම සහ මධ්‍ය පරිමාණ ලාභදායී කිරි නිෂ්පාදන ඒකක පිහිටුවීම වැදගත් වනවා. ඒ නිසා කිරි නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධව සිටින්නන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට මා යෝජනා කරනවා.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළ සියල්ලම ඵලදායී ලෙස යොදා ගනිමින් පෞද්ගලික අංශයේ ද දායකත්වය සහිතව කිරි නිෂ්පාදනය වසර 5 ක් තුළ සියයට 53 කින් ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මේ ව්‍යාපෘතිය අවසන් වෙද්දී දෛනික කිරි නිෂ්පාදනය දිනකට ලීටර් මිලියන 20 දක්වා ඉහළ නැංවෙනවා. එය පස් ගුණයක වැඩි වීමක්.
මෙම වැඩසටහන යටතේ අඹේවෙල ගොවිපළ ඉතා සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන තිබෙනවා. අඹේවෙල ගොවිපළේ දිනකට ලීටර් 1,600 ක් ව තිබූ දෛනික කිරි නිෂ්පාදනය දැන් කිරි ලීටර් 50,000 ක් දක්වා ඉහළ ගොසින් මෙය දිනකට කිරි ලීටර් 75,000 ක් දක්වා වර්ධනය කිරීම අපගේ අරමුණයි.
40. ඉදිකිරීම් අංශයට සවියක්.
පසුගිය කාලයේ දී වඩාත් පසුබෑමකට ලක්වූ ක්ෂේත්‍රයක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රය හඳුන්වන්න පුළුවන්. කොවිඩ් වසංගතය, ආර්ථික අර්බුදය, ආනයන සීමා ආදී විවිධ හේතු නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය දැවැන්ත අර්බුදයකට පත් වුණා. මේ තත්ත්වය සලකා බලමින් ඔවුනට සහය වීම උදෙසා නව අත්හදා බැලීමක් සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
රජයේ ආයතන ඔවුන්ට නොමිලේ ඉඩම් සපයනවා. ඒ ඉඩම්වල ඒ ඒ රාජ්‍ය ආයතනවල සැලසුම් අනුව ගොඩනැගිලි ඉදි කිරීමේ අවස්ථාව අප ඉදිකිරීම් සමාගම් වෙත ලබා දෙනවා. ඉදිකිරීමෙන් පසු එම ආයතන විසින් ඉදි කිරීමේ සමාගමට මාසික කුලී ගෙවනවා. ඉදිකිරීම් වියදම සහ ඊට අනුකූල ලාභාංශ ලැබීමෙන් පසු ගොඩනැගිල්ලේ පූර්ණ අයිතිය රාජ්‍ය ආයතනය වෙත ලබා දෙනවා. විදේශ අමාත්‍යංශයේ නව ගොඩනැගිලි සංකීර්ණය ඉදි කිරීම මෙහි මුල්ම නියමු ව්‍යාපෘතිය ලෙස ක්‍රියාත්මක කරනවා.
කොළඹ නගරයේ වතු නිවාසවල ජීවත් වෙන ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සහ ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ වර්ධනය ඉලක්ක කරගත් නව වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන්නට අප බලපොරොත්තු වෙනවා. කොළඹ නගරයේ වතු ඉඩම්වල විශාල නිවාස හා වෙළඳ සංකීර්ණ ඉදිකිරීමේ වගකීම අප ඉදිකිරීම් ක්ෂේත්‍රයට ලබා දෙනවා. ඒ ඉඩම් අප නොමිලයේ ඔවුන්ට ලබා දෙනවා. එහිදී ඔවුන් ඉටු කළ යුතු කොන්දේසිය වන්නේ එම වත්තේ පදිංචිව සිටින ජනතාවට නව නිවාස ලබා දීම පමණයි. එකී පවුල් එම නිවාස සංකීර්ණයේ නිවාස ඉල්ලා සිටින්නේ නම් ඔවුන්ට එහි නිවසක් ලබා දිය යුතුයි. එම පවුල් වෙනත් ස්ථානයක නිවාස ඉල්ලා සිටින්නේ නම් ඒ ඉල්ලීම ඉදිකිරීම සමාගම විසින් ඉටු කළ යුතුයි.
41. ශ්‍රී ලංකාවේ ජාතික සන්නාමකරණය
ශ්‍රී ලංකාව ශක්තිමත් රටක් ලෙස නැගී සිටීම සඳහා මෙතෙක් භාවිතයට නොගත් විභවතාවයන් බොහොමයක් ඇත. මෙම විභවතාවයන් ප්‍රයෝජනයට ගැනීම සඳහා, ශ්‍රී ලංකාවේ දිශානතිය නැවත පෙළ ගස්වා ගැනීමට හා හොඳම සංචාරක ගමනාන්තයක් සහ ආකර්ශනීය ආයෝජන මධ්‍යස්ථානයක් ලෙස මෙරට තත්ත්වය යළි අත්පත් කර ගැනීමට රජයේ ආයතන, ව්‍යාපාර, පුරවැසියන්, සංස්කෘතික ආයතන සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ නැවත ප්‍රයත්න දැරීම මඟින් ජාතික සන්නාමකරණ ප්‍රයත්නයන් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වෙනවා. මේ සඳහා රුපියල් මිලියන 100 ක් මා වෙන් කරනවා.
42. සැපයුම්
ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ප්‍රයෝජනයට ගෙන එය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීමේ දැවැන්ත ආර්ථික වටිනාකමක් තිබෙනවා. කෙසේ වෙතත්, මේ දිගු කාලීන සිහිනය සැබෑ කරගැනීම සඳහා බොහෝ ක්‍රියාමාර්ග ගතයුතු වෙනවා. එහි පළමු පියවර වශයෙන්, රජය සියළුම පාර්ශවකරුවන් සමඟ එකතු වී ජාතික සැපයුම් ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.
ශ්‍රී ලංකාව ඉන්දියාවත් සමඟ ගොඩබිම් සබඳතා පවත්වාගැනීමට අප බලාපොරොත්තු වෙනවා. කොළඹ වරාය නිරිතදිග ඉන්දියාවේ සැපයුම් අවශ්‍යතා සපුරාලීම සඳහාත්, ත්‍රිකුණාමලය වරාය අග්නිදිග ඉන්දියාවේ සැපයුම් අවශ්‍යතා සපුරාලීම සඳහාත් යෙදා ගැනීම අපේ බලාපොරොත්තුවයි.
බටහිර පර්යන්තය හා 2030 වසරෙන් පසු අපේක්ෂිත කොළඹ උතුර වරාය නිර්මාණය වීමෙන් පසු කොළඹ වරායේ ධාරිතාවය වැඩිදියුණු වෙනවා. ත්‍රිකුණාමලය වරායත් සංවර්ධනය වෙනවා. දකුණු ඉන්දියානු කලාපයේ වේගවත් වර්ධනය හා කාර්මීකරණය ප්‍රතිලාභ අත්විඳීමට ශ්‍රී ලංකාවට මෙමඟින් මනාව හැකි වෙනවා. අපේ අවසන් ඉලක්කය ශ්‍රී ලංකාව කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ඉහළට ඔසවා තැබීමයි.
43. කාන්තාවන් සවිබල ගැන්වීම
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අයවැයකරණය හඳුන්වා දීමට හා ඒ හා සම්බන්ධ නීති සම්පාදනය කිරීමට මා යෝජනා කරනවා. කාන්තාවන් සවිබලගැන්වීම සඳහා වන නීති හඳුන්වා දීමට ද අප කටයුතු කරනවා.
44. අත්යන්ත්‍ර
අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයේ නිරත කාන්තාවන් හා තරුණ ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
45. අවතැන් ජනතාවට නිවාස
උතුරු නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර ගැටුම් නිමා වී වසර 14 ක් ගත වී ඇතත්, තවමත් එම ප්‍රදේශවල නිවාස නොමැති පවුල් සිටිනවා. මෙවර අයවැයෙන් මෙම පිරිස් නැවත පදිංචි කිරීමේ අවශ්‍යතා සපුරාලීම සඳහා මිලියන 2,000 ක් වෙන් කර තිබෙනවා. කෙසේ වෙතත්, නිවාස වැඩසටහන කඩිනම් කිරීමට සහ නිවාස නොමැතිව ඉතිරිවී ඇති පවුල් සඳහා අත්‍යවශ්‍ය සහන සැලසීමට අතිරේක ප්‍රතිපාදන වශයෙන් තවත් රු. මිලියන 500 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
46. අතුරුදන් පුද්ගල වන්දි
උතුරු සහ නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර ගැටුමෙන් බලපෑම් එල්ල වූ අතුරුදන් වූවන් සහ විපතට පත් වූවන් 181 දෙනෙකු සඳහා මේ වන විට වන්දි ලබා දී ඇති අතර, තවත් 170 දෙනෙකුට 2023 වසර අවසන් වන විට වන්දි ලබා දීමට නියමිතයි. ඉදිරිපත් කර ඇති වන්දි ඉල්ලීම්වලින් සිදුවීම් 6,300 කට වැඩි ප්‍රමාණයක මූලික කටයුතු මේ වනවිට සම්පූර්ණ කර තිබෙන අතර විසර්ජන පනතින් දැනටමත් රුපියල් මිලියන 1,500 ක් වෙන්කර තිබෙනවා. මෙම වන්දි ගෙවීම කඩිනම් කිරීම සඳහා තවත් රු. මිලියන 1,000 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
47. යාපනයේ ජල ප්‍රශ්නය
යාපනය ප්‍රදේශයේ පානීය ජලය පිළිබඳ බරපතල ගැටළු පවතිනවා. වසර ගණනාවක් ගණනාවක් ගත වුණත් තවමත් මේ ගැටළුව විසඳී නෑ. මෙම සංකීර්ණ වූ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා පූර්ව ශක්‍යතා අධ්‍යයනය දැන් අවසන් වී තියෙනවා. ඒ අනුව අපට ඇති හොඳම විසඳුම පාලි ආරු ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමයි. මෙම ව්‍යාපෘතියේ මූලික කටයුතු 2024 වසරේ මුල් භාගයේ දී ආරම්භ කිරීමට මා අපේක්ෂා කරනවා. මෙම වැඩසටහනේ මූලික කටයුතු ඇරඹීමට 2024 වසර සඳහා රුපියල් මිලියන 250 ක් ලබා දෙනවා.
48. පුනරීන් නගර සංවර්ධනය
යාපනය ‐ මන්නාරම ප්‍රධාන මාර්ගයේ සංගුපිඩ්ඩි පාලම අසල පිහිටා ඇති පුනරීන් නගරය, සංචාරක කර්මාන්තයට ඉතා වැදගත් නගරයක්. පුනරීන් නගර සංවර්ධනය සඳහා රු. මිලියන 500ක් අප ලබා දෙනවා.
49. ගාල්ල දිස්ත්‍රික් ශ්‍රවණාගාරය
2019 වසරේ දී ආරම්භ කළ ගාලූ දිස්ත්‍රික් ශ්‍රවණාගාරයෙහි ඉදිකිරීම් අතරමග නැවතී තියෙනවා. පසුගිය කාලයේ ඇතිවූ අර්බුදකාරී තත්වය ඊට හේතුවයි. සැළකිය යුතු මුදල් ප්‍රමාණයක් මේ දක්වා ආයෝජනය කර ඇති අතර මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට නම් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් අවශ්‍ය වෙනවා. එහි රජයේ දායකත්වය ලෙස රු. මිලියන 500 ක් වෙන් කරනවා.
50. බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානය
බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානයක් ඉදි කිරීම සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම බණ්ඩාරවෙල මහ නගර සභාවේ සහ රජයේ සම මුල්‍ය දායකත්වය ඇති ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට මා යෝජනා කරනවා. රජයේ දායකත්වය ලෙස රුපියල් මිලියන 250 ක් අප ලබා දෙනවා.
51. පහල මල්වතු ඔය ව්‍යාපෘතිය
මෙම ව්‍යාපෘතිය සඳහා දැනටමත් ලබා දී ඇති අයවැය ප්‍රතිපාදනවලට අමතරව, තවත් රුපියල් මිලියන 2,500 ක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එමඟින්, ව්‍යාපෘතියේ කටයුතු වඩාත් කඩිනම් කර ගැනීමට අපට හැකිවෙනවා.
සංස්කෘතිය
වසර ගණනාවක සිට අපේ සංස්කෘතිය සීමාවන්ට යටත්ව තියෙනවා. සංස්කෘතිය යනු රාජ්‍ය සම්මාන උත්සව පැවැත්වීම පමණක්ය කියා බොහෝ දෙනෙක් සිතාගෙන සිටිනවා. රටේ සංස්කෘතිය පෝෂණය කරලීම උදෙසාත්, අතීත උරුමයන් අනාගතයට දායාද කිරීම සඳහාත් විධිමත් ක්‍රියා පිළිවෙත් ඇත්තේම නැති තරම්. විවිධ දුෂ්කරතා සහ අභියෝග මධ්‍යයේ වුවද, අප සංස්කෘතික ව්‍යාපෘති ගණනාවක් මේ අයවැය මඟින් ක්‍රියාත්මක කරනවා.
52. මහා විහාර විශ්වවිද්‍යාලය
අනුරාධපුර මහා විහාරය 19 වන සියවසේ අග භාගය දක්වා වැඩි අවධානයක් නොමැතිව ශතවර්ෂ ගණනාවක් තිස්සේ පැවතුණා. ථෙරවාදී බුදුදහම ආරක්ෂා කර පවත්වාගෙන යාමට මෙන්ම ලොව පුරා බුදුදහම ව්‍යාප්ත කිරීමට මහා විහාරය විසින් විශාල කාර්යභාරයක් ඉටු කළා. මේ කරුණු සලකා බලා මහාවිහාරයේ ඉතිහාසය හා මහා විහාරයීය භූමිකාවන්හි සියලු අංග ඇතුළත් කරමින් මහාවිහාර විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමට මා යෝජනා කරනවා. ඉදිරි දශකය තුළ එහි මූලික කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි ඉදිරි කටයුතු සැලසුම් කර මාස හයක් ඇතුළත වැඩ ආරම්භ කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ කාර්යසාධන කමිටුවක් පත් කරනවා. මෙහි මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 400 ක් වෙන් කරනවා.
53. අනුරාධපුර ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලය
මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීමට අනුපූරක කාර්යයක් ලෙස අනුරාධපුරයේ නවීන ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයක් පිහිටුවනවා. ජාත්‍යන්තර බෞද්ධ රටවල අතීත ලේඛන සුරක්ෂිත කිරීම සහ ඒවා තම පර්යේෂණ කටයුතු සඳහා භාවිත කිරීමට අවශ්‍ය විද්වතුන්ට පහසුකම් සැලසීම මේ පුස්තකාලයේ අරමුණයි. වසර තුනක කාල සීමාවක් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර ඉදිරි වසර සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කරනවා.
54. මහනුවර බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාරය
ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය කේන්ද්‍ර කර ගනිමින් පර්යේෂණ කටයුතු සඳහා මෙන්ම සංස්කෘතික ප්‍රවර්ධන කටයුතු සඳහා, ශ්‍රී ලංකා බෞද්ධ කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට මා අපේක්ෂා කරනවා. විවිධ රටවල විවිධ ශිෂ්ටාචාරවලට සම්බන්ධ මෙවැනි කෞතුකාගාර තියෙනවා. ඒවා පර්යේෂණ කාර්යයන් සඳහාත්, සංචාරක ආකර්ශනය සඳහාත් යොදා ගන්නවා. අදියර වශයෙන් ඉදිකිරීමට බලාපොරොත්තු වෙන කෞතුකාගාරය වෙනුවෙන් ඉදිරි වසර සඳහා රුපියල් මිලියන 200 ක් යොදවනවා.
මේ කාර්යයන් ඔස්සේ ශ්‍රී ලංකාව බෞද්ධ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම අපේ අභිප්‍රායයි.
55. ක්‍රිකට් සංවර්ධනය
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ ආයතනික අර්බුදයකට සහ කුසලතා හිඟයකට මුහුණපා ඇති බව අප දන්නවා. දිවයිනේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කරලීම සඳහාත්, පළාත් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහාත් මේ අයවැයෙන් රුපියල් බිලියන 1.5 ක් වෙන් කරනවා. මේ මුදල් ප්‍රතිපාදන ලබාදීමේ දී අඩු පහසුකම් ඇති පාසල් සහ පළාත්වලට ප්‍රමුඛත්වය ලබා දෙනවා.
56. ප්‍රවාහන ක්ෂේත්‍රය
2024 වර්ෂය තුළ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ලක්කරනවා.
බස්නාහිර පළාත තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ ඒකාබද්ධව විදුලි බස්රථ 200 ධාවනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරනවා.
ඓතිහාසික මහනුවර නගරයෙහි වාහන හා මඟී තදබදය ඉවත් කොට, දුම්රිය, බස් රථ හා වෙනත් කුලී රථ ඒකාබද්ධව ලෝක බැංකු ණය අධාර යටතේ මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ජනවාරි මාසයේ දී ආරම්භ කරනවා. මෙම මධ්‍යස්ථානයෙහි ප්‍රවේශ මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 1.5 ක් ලබා දෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අනුරාධපුර සිට මිහින්තලය දක්වා වූ දුම්රිය මාර්ගය සම්පුර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය 2024 ජනවාරි මාසයේ දී නිමවන අතර, මිහින්තලාවේ දුම්රිය ස්ථාන පරිශ්‍රය පදනම් කොට ගෙන ප්‍රවාහන ආර්ථික හා බහලූම් සහ ගබඩා පහසුකම් සහිතව පෞද්ගලික අංශයේ ද මූල්‍ය සහභාගීත්වයෙන් විසල් නගරයක් නිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන 200 ප්‍රතිපාදන වෙන් කරනවා.
පිටකොටුව, ගාල්ල, මාතර, අනුරාධපුර, යාපනය වැනි මහ නගර ආශ්‍රිත සහ සංචාරක ගමනාන්ත ආශ්‍රිත දුම්රිය ස්ථාන පදනම් කර ගනිමින් රාජ්‍ය පෞද්ගලික ව්‍යවසාය පදනම යටතේ ස්ටේෂන් ප්ලාසා හෙවත් දුම්රිය ස්ථාන නගර, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති ලෙස ස්ථාපනය කිරීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමටත් අප බලාපොරොත්තු වෙනවා.
57. මහජන සේවා සැපයීම
මහජන සේවා සැපයීමේ දී වගකීම සහ වගවීම යන කරුණු දෙක ගැනම අපේ අවධානය යොමු විය යුතුයි. රාජ්‍ය අයවැය ක්‍රියාත්මක කරලීමේ දී දැඩි මූල්‍ය විනයක් පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කරුණක්.
58. අයවැයට අදාළ කරුණු සම්බන්ධයෙන් වගකීම.
අයවැය අරමුණු සඳහා පළාත් සභා විශේෂ වියදම් ඒකක ලෙස සැලකිය යුතු බව මා යෝජනා කරනවා. ඒ අනුව පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, අනෙකුත් රේඛීය අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන් ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් ලෙස කටයුතු කළ යුතුයි. අයවැය අරමුණු සඳහා වියදම් කරන මුදල් වෙනුවෙන් පළාත් සභාව, පාර්ලිමේන්තුවට වගකිව යුතු වෙනවා.
තිරසර සංවර්ධන ඉලක්ක මත පදනම් වූ අයවැයකරණය අයවැය සකස් කිරීමේ දී සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතන වෙත ඉහත ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති අතර එම ආයතන විසින් ඒ සඳහා කටයුතු කළ යුතුය.
59. පළාත් තුළින් ලබන ආදායම
පළාත් සභාවලින් එකතු වන ආදායම පුනරාවර්තන වියදම් පියවා ගැනීමට පමණක් සීමා නොකොට පළාතේ සංවර්ධනය සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස භාවිතයට ගැනීම වඩාත් සුදුසු බවට යෝජනා කරමි. කෙසේ වෙතත්, මෙතෙක් අඛණ්ඩව සිදු කරගෙන එමින් පැවති ක්‍රියාවලිය හදිසියේ වෙනස් කිරීමේ ප්‍රායෝගික අපහසුතාවයන් මඟහරවා ගැනීම සඳහා 2025 වර්ෂයේ සිට පළාත් සභා ආදායමෙන් සියයට 50 ක් පමණක් පුනරාවර්තන වියදම් ලෙස යොදවා ගෙන අමතර ආදායම් ප්‍රාග්ධන වියදම් ලෙස යෙදවීමට මා යෝජනා කරනවා.
60. පළාත් සභා මඟින් අපනයන කර්මාන්ත ප්‍රවර්ධනය
1990 අංක 46 දරණ කාර්මික ප්‍රවර්ධන පනත යටතේ කර්මාන්ත සම්බන්ධයෙන් පළාත් සභා සතු බලතල සීමා කර තියෙනවා. අපනයන කර්මාන්ත සඳහා අවසර දීමට ඔවුන්ට බලතල නෑ. ඔවුනට අවසර දිය හැක්කේ රුපියල් මිලියන 4කට අඩු ප්‍රාග්ධන ආයෝජනයක් සහ ස්ථිර සේවක සංඛ්‍යාව 50 කට අඩු කර්මාන්ත ශාලා සඳහා පමණයි. අප මේ විධිවිධාන අහෝසි කරනවා. වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 600 දක්වා මෙම සීමාව වැඩි කරනවා. එමඟින් පළාත් සභාවලට අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට හැකි වෙනවා. එසේම සෑම පළාතකම කර්මාන්ත සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අප පියවර ගන්නවා.
61. පළාත් පාලන ආයතනවල ස්වයං මුල්‍යකරණය
පළාත් පාලන ආයතනවලට ආදායම් එකතු කිරීමට සහ ප්‍රදේශයේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා අවශ්‍ය කටයුතු කළමනාකරණය කිරීමට බලය පවරා තියෙනවා. නමුත් එම ආයතනවල වැටුප් සහ අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා වන වියදම් දරන්නේ රජය විසින්.
දැනට පවතින මූල්‍ය බාධාවන් සැලකිල්ලට ගෙන, ස්වයං මූල්‍යකරණ ආකෘතියක් යටතේ ඔවුන්ගේ සේවාවන් කාර්යක්ෂමව සැපයීමට පළාත් පාලන ආයතන දිරිමත් කරනවා. එහි පළමු පියවර ලෙස 2024 වසරේ ජනවාරි පළමු වන දින සිට මහ නගර සභාවලට වැටුප් ගෙවීම සඳහා සියයට 80 ක මුල්‍යයනයක් පමණක් ලබා දීමට අප පියවර ගන්නවා. 2025 වසරේ ජනවාරි පළමු වැනිදා සිට මේ මුදල තවත් අඩු කරනවා. ඉදිරි වසර 5 තුළ පළාත් පාලන ආයතනයන්හි ස්වයං මුල්‍යකරණය ක්‍රමානුකූලව දිරිමත් කිරීමටත් මා යෝජනා කරනවා.
62. ජාතික ජනසභාව
ජනසභා ක්‍රමය යටතේ ග්‍රාමීය මට්ටමේ නොවිසඳුණු සංවර්ධන අවශ්‍යතා හඳුනාගෙන ඒවාට ප්‍රමුඛත්වය ලබා දෙමින් ජාතික මට්ටමින් සම්පත් වෙන් කිරීමේ ක්‍රියාවලිය ඒ ඒ ප්‍රදේශ නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ ද සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. මෙමඟින්, ගමේ ජනතාවට පක්ෂ, ජාති, හා ආගම් භේදයකින් තොරව සාමූහිකව තම සංවර්ධන ප්‍රමුඛතා තීරණය කර සම්පත් වෙන් කිරීමටත්, එම සංවර්ධන ප්‍රමුඛතා රජයට සෘජුවම ඉදිරිපත් කිරීමටත් අවස්ථාව සැලසෙනවා. එසේම මහජන නියෝජිතයන්ගේ සිට සාමාන්‍ය ගැමියා දක්වා සියල්ලන්ටම මේ වැඩපිලිවෙලට දායක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගමේ තරුණ තරුණියන්ට මේ සඳහා සෘජුව දායක වීමට අවස්ථාව ලැබෙනවා. මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ජාතික ජනසභා ලේකම් කාර්යාලය පිහිටුවීමට රු. මිලියන 700 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
63. හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපල
කලක් තිස්සේ විවිධ පරිමාණයේ සාකච්ඡා පැවතුණ ද හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපල ඉදිකිරීමේ කටයුතු ක්‍රියාත්මක වී නැහැ. එබැවින් එහි මූලික කටයුතු සඳහා 2024 වෙනුවෙන් රුපියල් බිලියන 2 ක් වෙන් කරනවා.
64. මධ්‍යම අධිවේගී මාර්ගය
විදේශ ණය ප්‍රතිව්‍ය්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ විගස මධ්‍යම අධීවේගී මාර්ගයේ දෙවන අදියර, එනම් කඩවත සිට මීරිගම දක්වා වූ කොටසෙහි වැඩ කටයුතු චීනය සමඟ එක්වී ආරම්භ කරනවා. කුරුණෑගල සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීම සඳහා ජපානයේ සහයෝගය ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. අප සැලසුම් කරන්නේ කටුගස්තොට දක්වාම අධිවේගී මාර්ගය තැනීමට හැකියාවක් ඇද්ද යන්න සොයා බැලීමටයි.
65. තරුණ අභිවෘද්ධිය සඳහා වැඩසටහන
විවිධ අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන විසින් තරුණයන්ගේ අභිවෘද්ධිය කේන්ද්‍ර කරගත් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනු ලැබේ. නමුත් මෙම සියළු වැඩසටහන් සම්බන්ධීකරණය කරමින් ඒකාබද්ධ තරුණ අභිවෘද්ධි වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු අතර ඊට නව ආර්ථික හා සමාජ තත්ත්වයන්ට ගැලපෙන නව වැඩසටහන් ද අන්තර්ගත විය යුතු වේ. මෙම ඒකාබද්ධ තරුණ අභිවෘද්ධි වැඩසටහන ජනාධිපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා රුපියල් බිලියනයක ප්‍රතිපාදන වෙන් කිරීමටත් යෝජනා කරනවා.
66. මැණික් කර්මාන්තය
ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය තවමත් පූර්ණ ධාරිතාවය අත් කර ගැනීමට සමත් වී නොමැති අතර ඒ සඳහා පොදුවේ එකඟ වූ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර නැහැ. විදේශ රටවලින් මැණික් ගෙන්වා වටිනාකම් එකතු කිරීමත්, මෙරට මැණික් කර්මාන්තයේ පවතින ගැටළුත් සලකා එහි දියුණුවට පොදු වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. එම වැඩපිළිවෙල මධ්‍යකාලීන වශයෙන්, රජය, පුද්ගලික අංශය සහ අදාළ සියළු පාර්ශව එකතු වී ක්‍රියාත්මක කළ යුතු වනවා. ඒ සඳහා රාමුගත සැලැස්මක් ඉදිරි මාස 3 තුළ සකසා ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා.
67. ත්‍රිකුණාමලය නගරාශ්‍රිත සංවර්ධනය
රටේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි. විශේෂයෙන් වරාය ආශ්‍රිත විවිධ සංවර්ධන කටයුතුවලින් රටේ දියුණුවට විශාල දායකත්වයක් ලබා දිය හැකියි. මෙය දිගු කාලීනව සිදුකළ යුතු සංවර්ධන වැඩසටහනක්. මහා පරිමාණ කෘෂි වැඩසටහන් හා වෙරළබඩ සංචාරක කලාපයක් ද මීට ඇතුළත්. ඉන්දියානු ආයෝජකයන් සමඟ එක්ව මෙම සංවර්ධන වැඩපිළිවෙල දියත් කිරීමට බලාපොරොත්තු වන අතර මෙම කටයුතු සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කිරීමට යෝජනා කරනවා.
68. ගාලූ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය
ගාලූ දිස්ත්‍රික්කයේ ගංවතුර වැළැක්වීමේ පියවරක් ලෙස ගිං ගඟ ජල කළමනාකරණ වැඩපිළිවලක් ක්‍රියාත්මක කළ යුතුයි. මධ්‍යකාලීන වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීම අපේ අපේක්ෂාවයි. එහි මූලික වැඩකටයුතු සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කරනවා.
69. ණය ප්‍රතිව්‍යුහගත කිරීම
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මඟින් ඇති කරනු ලබන අවකාශය හේතුවෙන් සහන පියවර සඳහා සම්පත් සොයා ගැනීමට රජයට හැකි වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් සහාය දක්වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය 2022 වසරේ දී සියයට 128 සිට 2032 වසරේ දී සියයට 95 ක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරනවා. මේ ඉතිරිකිරීම් වල ප්‍රතිලාභ ලැබෙන්නේ ජනතාවටයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව, සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය තවදුරටත් තහවුරු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගන්නට දැන් අපට හැකිවී තියෙනවා. දේශීය ණය ප්‍රශස්තකරණයේ ප්‍රධාන අංග සම්පූර්ණ කර හමාරයි.
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ ශුද්ධ ණය වර්තමාන අගය අනුව අඩු කරනවා. දැනට පවතින ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල පියවීම සඳහා එක්සත් ජනපද ඩොලර් පදනම් කරගත් නව මූල්‍ය මෙවලම් නිකුත් කළ යුතුයි. ඒ අනුව, පවතින ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පියවීම් සඳහා රාජ්‍ය ගිණුම් පොතේ ගනුදෙනුව සටහන් කිරීමට අයවැය ප්‍රතිපාදන අවශ්‍ය වෙනවා.
ඒ අනුව, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරහි පියවීම සඳහා රු. බිලියන 3,000 ක් මේ අයවැය මගින් මම වෙන් කරනවා.
70. මූල්‍ය අංශයේ ස්ථායීකරණය
දිගු කාලීනව බැංකු ස්ථායීතාව සම්බන්ධයෙන් සියලූ විචක්ෂණ ක්‍රියාමාර්ග ගන්නා බව සහතික කිරීමට රජය උනන්දු වෙනවා. මේ සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මගින් සහාය දක්වන පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු සඳහා ස්වාධීන වත්කම් තත්ත්ව සමාලෝචනයක් පැවැත්වුණා. මෙම වත්කම් තත්ත්ව සමාලෝචනයේ මූලික ප්‍රතිඵල මඟින් පෙන්නුම් කරන්නේ විචක්ෂණ පදනමක් මත අමතර ප්‍රාග්ධන එකතුවක් ගොඩ නැගීමේ අවශ්‍යතාවයයි. ඒ අනුව බැංකු පද්ධතියේ ප්‍රාග්ධන වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා, රුපියල් බිලියන 450 ක් වෙන් කිරීමට මම යෝජනා කරනවා.
බැංකු අංශයේ ප්‍රාග්ධනය වැඩි දියුණු කිරීම සඳහා යෝජිත ප්‍රතිපාදන දිගුකාලීනව බැංකු අංශයේ ස්ථාවරත්වය සහතික කරනවා. බදු ගෙවන්නන්ගේ අරමුදල් මත ඇති බර අවම කිරීම සඳහා ප්‍රාග්ධනය වැඩි දියුණු කිරීම සහ රාජ්‍ය බැංකු දෙකේ අනාගත වර්ධනයට සහාය වීම සඳහා විශාල රාජ්‍ය බැංකු දෙකේ කොටස්වලින් සියයට 20 ක් උපාය මාර්ගික ආයෝජකයින්ට හෝ මහජනතාවට ලබා දිය යුතු යැයි මා යෝජනා කරනවා. රාජ්‍ය බැංකුවල අනාගත මූල්‍ය තත්ත්වය පිරිහීම වැළැක්වීම සඳහා, ප්‍රධාන නිලධාරීන් සහ රාජ්‍ය බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කිරීම සම්බන්ධයෙන් වඩාත් දැඩි නීති රීති සහ තනි ණය ගැණුම්කරුවන් සඳහා සීමාවන් වැනි ණය අවදානම පිළිබඳ දැඩි නීති ඇතුළු ප්‍රතිසංස්කරණ පියවර රැසක් මීට සමාන්තරව ක්‍රියාත්මක කරනවා. බැංකු පනතේ සංශෝධන මෙම ප්‍රතිසංස්කරණ සඳහා නීතිමය රාමුවක් සපයනු ඇති අතර එය 2024 වසරේ මුල් භාගයේ දී සම්මත කිරීමට අපේක්ෂා කෙරේ.
71. ණය ගැනීමේ සීමාව වැඩි කිරීම
බැංකු නැවත ප්‍රාග්ධනීකරණය සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාවට නැංවීම සඳහා දිගු කල්පිරීම් කාලයක් සහිත නව ණය මෙවලම් නිකුත් කිරීම අවශ්‍ය වනවා. එබැවින් දැනට පවතින ණය පියවීමට අයවැය ප්‍රතිපාදන අවශ්‍ය වනවා මෙන්ම ණය ගැනීමේ සීමාව වැඩි කිරීම ද අවශ්‍ය වෙනවා. ඒ අනුව, ණය ගැනීමේ සීමාව රු. බිලියන 3,900 සිට රු. බිලියන 7,350 ක් දක්වා රු. බිලියන 3,450 කින් වැඩි කිරීමට මා යෝජනා කරනවා
72. නීති ප්‍රතිසංස්කරණ
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සහ සුරක්ෂිත ගනුදෙනු පනත් දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර නව ක්ෂුද්‍ර මූල්‍ය පනත මඟින් ගනුදෙනුකරුවන්ට වඩාත් ආරක්ෂිත නෛතික බලයක් ලබා දෙනවා. නව සුරක්ෂිත ගණුදෙණු නීතිය මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ වත්කම්වලින් වැඩි කොටසක් ප්‍රයෝජනයට ගැනීමට සහ වර්ධනය සඳහා ණය ලබා ගැනීමට හැකි වනවා.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ යහපාලන මූලධර්ම තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය නව නීති හඳුන්වා දෙමින් සිටිනවා. රාජ්‍ය ණය කළමනාකරණ පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ නීතිය දැනටමත් අවසන් කර ඇති අතර ඒවා දෙසැම්බර් මාසයේ හෝ 2024 පළමු කාර්තුව තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ආයෝජන හිතකාමී නෛතික පරිසරයක් නිර්මාණය කිරීම සඳහා නව ආයෝජන නීතිය සහ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව නීතිය හඳුන්වා දීම අප ආරම්භ කළා. ආර්ථික සංවර්ධනය සඳහා ඉඩම් උපරිම ප්‍රයෝජනයට ගැනීම සඳහා රජය විසින් නව ආයතනික වෙනස්කම් සමඟ නව ඉඩම් නීතියක් හඳුන්වා දෙනවා.
ඉහත ගෙන හැර දැක්වූ නීතිවලට අමතරව රටේ ප්‍රගතියට අනුබල දීම සඳහා නව නීති ගණනාවක් හඳුන්වා දීම සහ පවතින යල් පැනපු නීතිවලට සංශෝධන ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය අප දැනටමත් ආරම්භ කර තියෙනවා. මේ අයුරින් නව නීති හා සංශෝධන නීති 60 ක් අප හඳුන්වා දෙනවා.
73. පාලන ප්‍රතිසංස්කරණ
ආර්ථික අර්බුදයට දායක වීමේදී, ආර්ථික පාලනයේ සහ විශේෂයෙන්ම මූල්‍ය පාලනයේ දුර්වලතා විසින් සිදු වූ විශාල දායකත්වය රජය හඳුනා ගෙන තියෙනවා. ගැටලූවක් විසඳීමේ පළමු පියවර වන්නේ එය පිළිගැනීමයි. අප රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ආරාධනා කළේ ශ්‍රී ලංකාවේ පාලන ව්‍යුහයන්හි දුර්වලතා පිළිබඳ ස්වාධීන තක්සේරුවක් සිදු කරන ලෙසයි. ශ්‍රී ලංකා රජයක් මෙවැනි සමාලෝචනයක් කළ පළමු අවස්ථාව මෙය වන අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාලනය පිළිබඳ විශ්ලේෂණයක් ආසියාවේ සිදු කළ ප්‍රථම අවස්ථාව ද මෙයයි. ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ ව්‍යුහාත්මක පාලන ගැටළු වලින් පීඩා විඳිනවා. සමාලෝචනයේදී මතුකර පෙන්වූ බොහෝ ගැටළු රජය විසින් දැනටමත් හඳුනාගෙන ඇති අතර ඒවා විසඳීමට දැනටමත් පියවර ගනිමින් සිටිනවා. නිදසුනක් වශයෙන්, ප්‍රසම්පාදනය වැඩිදියුණු කිරීමේ ක්‍රියාමාර්ග, ආදායම් එකතු කිරීමේ අධිකාරීන්ගේ දුෂණ දුර්වලතා විසඳීම සහ ආයෝජන දිරිගැන්වීම් සම්බන්ධ ගැටලු විසඳීම සඳහා රජයේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛත්වය ලබා දී තියෙනවා. මෙම ගැටළු විසඳීම සඳහා පනත් කෙටුම්පත් සැකසෙමින් පවතිනවා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ස්වරූපයෙන් නව නීති සම්පාදනය කෙරෙනවා.
74. නව වර්ධන ආකෘතිය
දශක කිහිපයක සිට ශ්‍රී ලංකාව ණය අරමුදල් මත යැපුණු ආර්ථික සංවර්ධනය හා සුභසාධන බෙදීයාම මත විශ්වාසය තැබුවා. මෙය තිරසාර ආර්ථික ව්‍යුහයක් නොවූ අතර, රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමඟ මෙම ආකෘතිය වෙනස් කිරීමේ අවස්ථාව ලැබී තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ රාජ්‍ය සේවාවන් සීමාසහිතව ලබා දෙන බදුබර අඩු රටක් ද? රජයේ කාර්යයභාරයද වැඩි බදු බරද වැඩි රටක්ද? පිළිබඳව තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට නව සමාජ සම්මුතියක් අවශ්‍යව පවතිනවා. කුමන මාර්ගයෙන් වුවත්, රටේ සංවර්ධනය සඳහා ඵලදායීතාවයේ වර්ධනයක් හා බෙදාගතහැකි අතිරික්තයක් තිබිය යුතුයි. මේ නව වර්ධන ආකෘතිය, ඵලදායීතාවයෙන් වැඩි සාධාරණ, හරිත වර්ධනයකින් හෙබි ඩිජිටල්කරණය වූ සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් මත පදනම් වියයුතුයි.
75. ශ්‍රී ලංකා ආදායම් අධිකාරිය
රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා මෑතක දී ප්‍රයත්නයන් රාශියක් ගෙන ඇති අතර, පෙර කරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග බොහොමයක් අසාර්ථක වී තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර අත්දැකීම් ද යොදා ගනිමින් ආදායම් පරිපාලන ඵලදායීතාවය ඉහළ නැංවීම, ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම, මානව සම්පත් සම්බන්ධයෙන් පවතින යල් පැන ගිය රාජ්‍ය විධිවිධාන වැනි බාධකයන් මගහැර විසඳුම් ලබා දීම, නවීන, කාර්යක්ෂම හා අඛණ්ඩව ක්‍රියාත්මක වන ආදායම් පරිපාලන ක්‍රමවේදයක් සකස් කිරීම අරමුණු කර ගනිමින් නව ආදායම් අධිකාරියක් ස්ථාපිත කිරීමට යෝජනා කරනවා. මෙම ආදායම් අධිකාරිය පිහිටුවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති කණ්ඩායමක් මුදල් අමාත්‍යංශය යටතේ පිහිටුවීමට යෝජනා කරනවා.
76. ගෝලීය ආර්ථික සබඳතා
අපනයන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපළ පුළුල් කරගත යුතුයි. ඒ වගේම තරඟකාරී ආර්ථිකයක් අප නිර්මාණය කරගත යුතුයි. මේ සඳහා අපේ කලාපයේ ප්‍රධාන හවුල්කරුවන් සමඟ විස්තීර්ණ වෙළඳ ගිවිසුම් ඇති කරගැනීමට අප ක්‍රියා කරනවා.
තායිලන්තය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය සහ චීනය සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගැනීමට අප කටයුතු කරමින් සිටිනවා. ඉන්දියාව සමඟ ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම, පරිපූර්ණ ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුමක් දක්වා පුළුල් කරගැනීමට අප පියවර ගනිමින් සිටිනවා.
අපි එක් අතකින් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (R – CEP) ඇතුළු වෙනවා. අනෙක් අතින් යුරෝපා සංගමයේ වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය හා සම්බන්ධ වෙනවා. ඒ නිසා ප්‍රධාන ගෝලීය වෙලඳපොළවල් සියල්ලටම තරගකාරී මට්ටමන් ඇතුළු වීමට අවකාශ අපේ රටට ලැබෙනවා.
විදේශ වෙළෙඳාම සහ ගෝලීය වෙළෙඳපොළ සමඟ ශ්‍රී ලංකාවේ ගැඹුරු සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස, ආනයන සෙස් බදු, වරාය සහ ගුවන් තොටුපළ බද්ද ඇතුළුව තීරු බදු නොවන ආනයන බදු ඉවත් කිරීමට අප පියවර ගන්නවා. වසර 3ත් 5ත් අතර කාලය තුළ ක්‍රමානුකූලව මේ බදු ඉවත් කරනවා.
ලෝක වෙළෙඳ සංවිධානයේ, ශ්‍රී ලංකාවේ වෙළඳ පහසුකම් සැපයීමේ බැඳීම් බොහෝ අඩු සංවර්ධිත රටවල් වලට වඩා පහළ මට්ටමක පවතී. විද්‍යුත් ගෙවීම් භාරගැනීම, ඩිජිටල් ලේඛන භාරගැනීම ඇතුළු තෝරාගත් වෙළෙඳ පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමට නියමිතව තිබියදී රාජ්‍ය ආයතන ගණනාවක් එම ඉලක්ක කරා ළඟා වී නෑ.
එබැවින් භාණ්ඩාගාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික වෙළෙඳ පහසුකරණ කමිටුව ප්‍රතිසංවිධානය කරනවා. තවත් පාර්ශවකරුවන් කිහිප දෙනෙකු ඊට ඇතුළත් කරගැනීමටද අප බලාපොරොත්තු වෙනවා.
ගෝලීය යහපත් පරිචයන්ට අනුරූපව ශ්‍රී ලංකා රේගු නීති සකස් කිරීමේ අරමුණින් තවදුරටත් රේගු නීති නවීකරණය කිරීමට පියවර ගන්නවා.
ඵලදායි වෙළෙඳ පහසුකම් සැලසීම සඳහා වන ජාතික කමිටුව, ජාතික තනි කවුළුව කඩිනම්ව ක්‍රියාත්මක කිරීම සඳහා ඉතා වැදගත් වෙනවා. එමගින් අභ්‍යන්තර වෙළඳාම සහ ආයෝජන කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරගන්න පුළුවන්. ජාතික තනි කවුළුව මඟින් සියලූම දේශසීමා කළමනාකරණ ආයතන තනි ඩිජිටල් වේදිකාවක් තුළට ගෙන ඒම සහ වෙළෙඳාම සම්බන්ධ නියාමන ලියකියවිලි බාධාවකින් තොරව සහ කාලෝචිත ආකාරයකින් සිදු කිරීමට පහසුකම් සපයනවා. ඒ කාර්යයන් සඳහා රුපියල් මිලියන 200 ක මුදලක් වෙන් කර තිබෙනවා.
රටවල් කිහිපයක වෙළෙඳ සලකුණු ලියාපදිංචි කිරීමට දැන් විශාල කාලයක් සහ මුදලක් වැයවෙනවා. මෙය කඩිමින් හා පහසුවෙන් කර ගැනීමට අවස්ථාව සලසන මැඩ්රිඩ් සම්මුතියට ප්‍රවේශ වීමට අප ක්‍රියා කරනවා. ශ්‍රී ලංකා සන්නාමවල තරඟකාරිත්වය ඉහළ නැංවීමට සහ ශ්‍රී ලංකා අපනයන නිෂ්පාදනවල වටිනාකම ඉහළ නැංවීමට මෙය ඉතා වැදගත් වෙනවා.
77. ආයෝජන
පසුගිය වසරේ අයවැයෙන් යෝජනා කළ පරිදි, රටේ ආයෝජන හා වෙළඳ ප්‍රවර්ධනය සහ පහසුකම් සැලසීම සඳහා ආයතනික හා නීතිමය රාමුව ප්‍රතිසංස්කරණය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යාපාර සංවර්ධන අධිකාරියෙහි කාර්යයන් ඒකාබද්ධ කරන ආයතනික රාමුව අධීක්ෂණය කරන යටිතල පහසුකම් සංස්ථාව ස්ථාපිත කරමින් නව ඒකාබද්ධ ආයෝජන නීතියක් කෙටුම්පත් කර තිබෙනවා. යටිතල පහසුකම් සංස්ථාව ස්ථාපනය කිරීම සඳහා රු. මිලියන 250 ක් වෙන් කර තිබෙනවා.
ආයෝජකයන් සඳහා සේවා සපයනු ලබන රජයේ සියලූම ආයතනවල කාර්යයන් ස්වයංක්‍රීයකරණය කිරීම වැඩි දියුණු කිරීම මඟින් අදාළ කාර්ය පරිපාටි සරල කිරීම, අන්තර් ක්‍රියාකාරී හැකියාව, අඩු පිරිවැයක් හා කාලයක් ගත වන කාර්ය පටිපාටි හරහා ආයෝජන ක්‍රියාවලීන් සඳහා පහසුකම් සැලසීමේ දී ආදාළ අනුමැතීන් හෝ බලපත්‍ර ලබා දෙන ආයතන සමඟ එක් වී ආයෝජකයන් සඳහා පහසුකම් සැලසීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා 2024 වසරට රු. මිලියන 100 ක් වෙන් කර තිබෙනවා.
හම්බන්තොට, යාපනය, ත්‍රිකුණාමලය, බිංගිරිය හා මහනුවර කේන්ද්‍ර කරගනිමින් නව ආයෝජන කලාප ස්ථාපිත කිරීමට යෝජනා කරන අතර මෙම විශේෂිත ආයෝජන ප්‍රවර්ධන කලාප යටිතල පහසුකම් සංස්ථාව හරහා පාලනය කිරීමට යෝජනා කරනවා.
78. ඵලදායීත්වය නංවාලීම හා නිෂ්පාදන ආර්ථිකය හසුරුවාලීම
2023 අයවැය කතාවෙන් මා සඳහන් කළ පරිදි ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා දැනටමත් නීති කෙටුම්පත් කර අවසානයි. 2024 වන විට මේ කොමිෂන් සභාව පිහිටුවීමට නියමිතයි. මේ සඳහා රුපියල් මිලියන 150 ක ප්‍රතිපාදන 2024 වසරේ වෙන් කරනු ලබනවා.
79. ඩිජිටල් ආර්ථිකයක් කරා
වසර 2030 වන විට ඩිජිටල් ආර්ථිකය කර යාමේ දී පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණයට අදාළ සංවිධානාත්මක ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීමට මා යෝජනා කරනවා.
ඒ අනුව, රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම සඳහා අවශ්‍ය නායකත්වය හා මඟ පෙන්වීම සැපයීම වෙනුවෙන් පූර්ණ බලතල සහිත ඩිජිටල් අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරනවා.
මීට අමතරව, රාජ්‍ය අංශය, විශේෂඥ ආයතන හා සිවිල් සමාජය සම්බන්ධීකරණයෙන් තාක්‍ෂණික නවෝත්පාදනය දිරිගැන්වීම උදෙසා තාක්‍ෂණික නවෝත්පාදක සභාවක් පිහිටුවීමටද මා යෝජනා කරනවා.
එසේම ඩිජිටල් තාක්‍ෂණයේ නවතම ප්‍රවණතාව වන කෘතිම බුද්ධිය පදනම් කර, ආර්ථික හා සමාජයීය පරිවර්තනයක් සිදු කිරීම අරමුණු කරගනිමින් කෘතිම බුද්ධිය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමටද කටයුතු යොදනවා.
මෙම කාර්යයන් සඳහා ඉදිරි වසර සඳහා රුපියල් බිලියන 3 ක මුදලක් වෙන් කරනවා.
මෙම යටිතල පහසුකම් සඳහා තීරණාත්මක කොඳු නාරටිය වනුයේ ශ්‍රී ලංකා ‐ ඩිජිටල් අනන්‍යතාවය සංවර්ධනය කිරීමයි. මෙම අරමුණ කරා ළඟාවීම සඳහා පියවර ගෙන ඇති අතර 2024 වසර තුළ දී එය අවසන් කිරීමට අපේක්ෂා කරනවා.
80. ශ්‍රී ලංකාවේ පර්යේෂණ සඳහා ජාතික පර්යේෂණ ප්‍රතිපත්තිය
පර්යේෂණ සහ සංවර්ධනය, තාක්ෂණික දියුණුව සහ නවෝත්පාදනයන්, ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ දී සහ ආර්ථික ප්‍රගතිය සහ සමාජ යහපැවැත්ම සඳහා සහාය වීමේ දී උත්ප්‍රේරකයක් ලෙස වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඒ කරුණු පදනම් කරගනිමින් ජාතික පර්යේෂණ ප්‍රතිපත්තියක් සැකසීමට මා යෝජනා කරනවා. මේ සඳහා රුපියල් බිලියන 8 ක් වෙන් කරනවා.
81. සංචාරක ව්‍යාපාරය
ආර්ථික අර්බුදයෙන් පසු සංචාරක කර්මාන්තය ප්‍රගතියක් ලබමින් තිබෙනවා. අප රටේ පිහිටීම, දේශගුණය සහ අතීත උරුමයන් පසුබිම් කරගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ වෙනස්කම් ගණනාවක් අප සිදු කළ යුතුයි. හෝටල් කාමර කුලියට දීම, මුහුදු වෙරළ අත්දැකීම් විඳින්නට අවකාශ සැලසීම හා සීගිරිය පෙන්වීම වැනි සාම්ප්‍රදායික කාර්යයන් අභිභවමින් නව සංචාරක සංස්කෘතියක් අප නිර්මාණය කර ගත යුතු වෙනවා. ඒ සඳහා පදනම දැමෙන පියවර ගණනාවක් මේ අයවැය ලේඛනයට ඇතුළත් වෙනවා.
සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය පිණිස නව ස්වරූපයෙන් දිගු කාලීන වැඩසටහනක් “විසිට් ශ්‍රී ලංකා” යටතේ 2024 සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. අපගේ අපේක්ෂාව වසරකට අඩුම තරමින් මිලියන පහකවත් සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමයි. මේ සඳහා පහසුකම් සැලසීමට රජයත්, පළාත් සභා හා පළාත් පාලන ආයතනත් වැඩකටයුතු රාශියක් සිදු කළ යුතුයි. එමෙන්ම, සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නව නීතියක් ද සම්මත කර ගැනීමට අප ක්‍රියා කරනවා මේ කාර්යයන් සඳහා රුපියල් බිලියනයක ප්‍රතිපාදන ලබා දෙනවා.
සංචාරක ක්ෂේත්‍රයේ මූලික අවශ්‍යතා සැපිරීමේ වගකීම් පළාත් සභාවන් වෙත පවරනවා. ඒ සඳහා පළාත් සංචාරක මණ්ඩල ශක්තිමත් කරනවා. අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 750 ක මුදලක් වෙන්කරනවා. මුදල් කොමිෂන් සභාව හරහා ඊට අවශ්‍ය සහය පළාත් සභා වෙත ලබා දෙනවා.
රජයට අයත් නිවාඩු නිකේතන සහ සංචාරක බංගලා 720 කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මේ මගින් ආසන්න වශයෙන් කාමර 3,750 ක් සැපයිය හැකියි. රජයේ නිවාඩු නිකේතන නවීකරණය කර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා යොදා ගනිමින් දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද මා යෝජනා කරනවා. මෙම සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 600 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා .
82. පින්නවල‐කිතුල්ගල සංචාරක කොරිඩෝව
කිතුල්ගල ජල ඔරු පැදීමේ ප්‍රදේශය, පින්නවල අලි අනාථාගාරය සහ ඒ වටා ඇති අනෙකුත් සංචාරක ආකර්ෂණයන් සහිත ස්ථාන සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන පිවිසුම ඒ සඳහා උපයෝගී කරගන්නවා. යෝජිත ගලිගමුව නව නගරය මෙම සංචාරක කලාපයේ කේන්ද්‍රස්ථානය ලෙස ප්‍රවර්ධනය කරනවා. වසර 3 ක කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 750 ක මුදලක් වෙන් කරනවා.
83. නිර්මාණාත්මක ආර්ථිකය
නිර්මාණශීලීත්වය, සංස්කෘතිය හා සමාජය තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. නිර්මාණාත්මක ආර්ථිකයේ පදනම තාක්ෂණය සහ නවෝත්පාදනයයි. ඒ නිසා, නිර්මාණාත්මක අවකාශයන්, කර්මාන්ත සහ උගතුන් අතර සහයෝගීතාව ඇති කිරීමට පෙරමුණ ගැනීමට මම අදාළ පාර්ශවකරුවන්ට ආරාධනා කරනවා. ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක ආර්ථිකය ගොඩනැංවීම සඳහා සහය වීමට රජය සූදානමින් සිටිනවා.
84. ගිග් ආර්ථික කටයුතු
භාණ්ඩ හා සේවාවන්හි දේශසීමා හරහා සිදු කරනු ලබන ගනුදෙනු ඇතුළු ගිග් ආර්ථික ක්‍රියාකාරකම් සහ විද්‍යුත් වාණිජමය ගනුදෙනුවල නව ප්‍රවණතාවන් සැලකිල්ලට ගෙන, දේශසීමා හරහා සිදු කරනු ලබන ගනුදෙනු ඇතුළුව ගිග් ආර්ථිකය සහ විද්‍යුත් වාණිජ ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම සඳහා සරල ප්‍රතිපත්ති සහ නියාමන රාමුවක් හඳුන්වා දීමට යෝජනා කරනවා. එය ගෙවීම් ක්‍රමවේදය, රාජ්‍ය මූල්‍ය ආදායම, සේවක සුභසාධනය යන අංශ ආවරණය කරනවා.
85. හරිත ආර්ථිකය
අනාගතයට ශක්තිමත්ව මුහුණ දීමටනම් අප හරිත ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ යුතුයි. තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයේ ඉදිරි දර්ශනය සඳහා පදනම් වෙන්නේ දේශගුණික සෞභාග්‍ය සැලැස්මයි.
මහා භාණ්ඩාගාරයේ දේශගුණික මූල්‍යකරණ ඒකකයක් ඇති කිරීමෙන්ද, ජනාධිපති කාර්යාලයේ දේශගුණික විපර්යාස සම්බන්ධ කාර්යාලයක් ඇති කිරීමෙන් ද, ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහාය වන ආයතනික ව්‍යුහය නිර්මාණය කිරීමට පියවර ගනිමින් සිටිනවා.
ජාත්‍යන්තර දේශගුණ විපර්යාස විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමට කොත්මලේ ජලාශයට ඔබ්බෙන් ඉඩම් අක්කර 600 ක් අප වෙන් කර තියනවා.
හරිත හයිඩ්‍රජන්, හරිත ඇමෝනියා සහ සූර්ය හා සුළං ඇතුළත් පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දැඩි ප්‍රයත්නයක යෙදී සිටිනවා.
ළඟදීම දේශගුණික විපර්යාස කොමිසමක් පිහිටුවීමට අප ක්‍රියා කරනවා.
කාලගුණික විපර්යාස හේතුවෙන් ආසියානු කලාපයේ රටවල් කිහිපයක අනාගතයේ දී ආහාර හිඟ වීම ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තියෙනවා. මෙම තත්ත්වය යටතේ අනාගත ආහාර සුරක්ෂිතභාවය සහ හිඟයකින් තොරව පාරිභෝගිකයින්හට අත්‍යවශ්‍ය ආහාර සැපයීම තහවුරු කිරීමට සහ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටින සුළු හා මධ්‍ය පරිමාණ සැකසුම්කරුවන්ට අවශ්‍ය තාක්ෂණික සහ අනෙකුත් පහසුකම් සැලසීමට සුදුසු වැඩසටහනක් දියත් කිරීම සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමට මා යෝජනා කරනවා.
අපට බිහි කරන්නට අවශ්‍ය ගහකොළ, පරිසරය සුරකින හරිත ආර්ථිකයක්..!
අපට බිහි කරන්නට අවශ්‍ය ගහකොළට, පරිසරයට ආදරය කරන හරිත සමාජයක්…!
හරිත ආර්ථිකයක් සහ හරිත සමාජයක් බිහි කරන හරිත අයවැයක් ඉදිරිපත් කරන්නට අපට පුළුවන් වුණා. එය රටේ අනාගතය ශක්තිමත් කරන හරිත අයවැයක්.
මේ හරිත අයවැය අලූත් ආර්ථිකයක් සඳහා ප්‍රවේශයක්. සවිමත් අනාගතයකට පෙරවදනක්. සමජීවිකතා සංකල්පය තහවුරු කිරීමක්.
සමාප්තිය
ප්‍රශ්න ගණනාවක් මැද්දේ වුවත් රටේ අනාගතය ශක්තිමත් කරන අයවැයක් ඉසිරිපත් කරන්න අපට පුළුවන් වුණා. හැබැයි මේ ගමනේ දී මුහුණ දිය යුතු, ජයගත යුතු තවත් ප්‍රශ්න ගණනාවක් අප ඉදිරියේ තියෙනවා. මේ ප්‍රශ්නවලට සුන්දර උත්තර නෑ. සුරංගනා ලෝක මැවීමෙන් මේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ. අප ක්‍රමානුකූලව, විද්‍යාත්මකව මේ ප්‍රශ්නවලට උත්තර සෙවිය යුතුයි. සමජීවිකතා සංකල්පය නොබිඳිමින් මේ ප්‍රශ්න විසඳාගත යුතුයි. අප දැන් සිදු කරමින් සිටින්නේ අන්න ඒ අභියෝගාත්මක කාර්යයයි.
විපක්‍ෂයේ සමහර කණ්ඩායම් යෝජනා කරන පරිදි අප අනුගමනය කරන මේ පිළිවෙත නවතා දැමුවොත් සිදුවන්නේ කුමක්ද? එසේත් නැතිනම් මේ පිළිවෙතට බාධා කොට කඩාකප්පල් කර දැමුවොත් සිදු වන්නේ කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව සිදු කරන ප්‍රතිසංස්කරණ මාලාව නවතිනවා. එහෙම වුණොත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම ඇණහිටිනවා. විශ්වාසය පළුදු වී විදේශ විනිමය දේශීය බැංකු පද්ධතියට ගලා ඒම නතර වෙනවා. විදේශ විනිමය හිඟ වීමත් සමඟම අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ වෙනවා. විදුලි බල කප්පාදුව, ඉන්ධන හිඟය යළිත් ඇති වෙනවා. බඩු මිලත්, උද්ධමනයත් හිතා ගන්නට බැරි තරමට ඉහළ නැංවෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන මාර්තු මාසයේ අනුමත වූ දා සිට අපට යළි ලැබෙන්නට පටන් ගත් විදේශීය මූල්‍ය ආදායම් නැවතෙනවා. යළිත් පොලී අනුපාත ඉහළ දමමින් දේශීය වෙළෙඳපොලෙන් තව තව ණය ගැනීමට රජයට සිද්ධ වෙනවා.
එහෙම වුණොත් අපි නැවතත් ආර්ථික අපායට ලිස්සා ඇද වැටෙනවා. අපේ ආර්ථිකය යළි කෙළින් කරන්න බැරි අන්දමට පීලි පනිනවා. මතක තියාගන්න. ආපහු එහෙම වුණොත් ශ්‍රී ලංකාව බේරා ගැනීමට ලෝකයේ කිසිවෙකු ඉදිරිපත් වෙන්නේ නැහැ. අපේ බාහිර ණය හිමියන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු සියලු පාර්ශවයන් අප ගැන තබා ඇති විශ්වාසය කඩවෙනවා. අපිට උරුම වෙන්නේ ලෙබනනය වැනි රටකට අත්පත් වූ අවාසනාවන්ත තත්ත්වයයි.
එවැනි තත්ත්වයකට යළි ඇද නොවැටීම නම් අපේ රටේ ආර්ථික හා දේශපාලන ක්‍රමය අලූතෙන් නිර්මාණය කළ යුතුයි. අලුත් සමාජ සම්මුතියක් ඇති කරගත යුතුයි. මේ අයවැය ලේඛනයෙන් අප කළේ ඊට පදනම දැමීමයි.
තව දුරටත් අනුන්ගෙන් යැපෙන ජාතියක් බවට පත්වෙන්නට අපට බැහැ. නිදහසෙන් පසු අපේ මුල්ම සංවර්ධන ව්‍යාපෘතිය වූ ගල්ඔය ව්‍යාපාරය අප සිදු කළේ අපේම මුදල්වලින්. ඒ කාලයේ අප බ්‍රිතාන්‍යයටත් ණය ලබා දුන්නා. ඒත් අද අපි මුළු ලෝකය ඉදිරියේ හිඟා කනවා. ඊළඟ පරපුරට අප ලබා දිය යුත්තේ හිඟන උරුමයක් ද? නැතිනම් සාඩම්බර හිමිකමක් ද?
ඉතින් මා මේ ගරු සභාවේ සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ රට යළි ගොඩ නැංවීමේ වැඩ පිළිවෙලට එක්වෙන ලෙසයි. අපේ වැඩ පිළිවෙලට වඩා යහපත් වැඩපිළිවෙලක් ඇත්නම් එය මේ සභාවට සවිස්තරාත්මකව ඉදිරිපත් කරන්න. අප සාකච්ඡා කරමු. වඩාත් සුදුසු වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමු. අපේ අනාගත පරම්පරාවට සාඩම්බර හිමිකමක් උරුම කරමු.
මෙවර අයවැය ඉදිරිපත් කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍ය තුමන් විසින් ලබා දෙන ලද මඟපෙන්වීම් වෙනුවෙන් මම විශේෂයෙන් ස්තුතිය පළ කරනවා. රාජ්‍ය අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය සහ ගරු ෂෙහාන් සේමසිංහ මැතිතුමන්ලා හැමවිටම මට උපරිම සහයක් ලබා දෙනවා. ඔවුන් දෙදෙනාටත් ස්තුතියි. මෙවර අයවැය සඳහා මේ සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා ඇතුළු රාජ්‍ය සහ පුද්ගලික අංශයේ බොහෝ දෙනෙක් අදහස් හා යෝජනා ලබා දුන්නා. ඔවුන්ටත් මගේ ස්තුතිය පළ කරනවා. ගරු අමාත්‍ය මණ්ඩලයේ සහෘදයන්ටත් සහාය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටත් මාගේ කෘතඥතාව පළ කරනවා. දැඩි පරිශ්‍රමයක් දරමින් අයවැය සකස්කර දුන් භාණ්ඩාගාර ලේකම් තුමා සහ අනෙකුත් රාජ්‍ය නිලධාරින්ටත්, මගේ කාර්ය මණ්ඩලයටත් ස්තූතිවන්ත වෙනවා.
ස්තූතියි !
ඇමුණුම III
වියදම් යෝජනා – 2024
අංක යෝජනාව ප්‍රතිපාදනය
(රු. මිලියන)
1 රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ මාසික ජීවන වියදම් දීමනාව ඉහළ නැංවීම 133,000
2 ආබාධ සහිත පුද්ගලයින්, වැඩිහිටි පුරවැසියන් සහ වකුගඩු රෝගීන් සඳහා මාසික දීමනාව ඉහළ නැංවීම(1) 5,000
3 අතුරුදන් වූ පුද්ගලයන් සඳහා වන්දි ලබාදීම කඩිනම් කිරීම 1,000
4 ගොවීන්ට ඉඩම් අයිතිය ලබාදීම 2,000
5 වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබා දීම 4,000
6 බිම්සවිය වැඩසටහන පුළුල් කිරීම 600
7 විමධ්‍යගත අයවැය 11,250
8 “කඳුරට දශකය“ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන 10,000
9 ග්‍රාමීය මාර්ග නඩත්තුව සහ කළමනාකරණය 10,000
10 ස්වභාවික ආපදා හේතුවෙන් හානි වූ මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීම 2,000
11 අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටුවීම 1,000
12 පේරාදෙණිය විශ්වවිද්‍යාලය සංවර්ධනය 500
13 අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යාව පිළිබඳ ජාතික විද්‍යායතනය පිහිටුවීම 40
14 පළාත් සභා මගින් වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබා දීම 450
15 අභ්‍යාසලාභී පුහුණුව තුළින් තොරතුරු හා සන්නිවේදනය තාක්ෂණ ක්ෂේත්‍රයේ කුසලතා වර්ධනය 750
16 තරුණ සහ වැඩිහිටි අධ්‍යාපනය 150
17 සැමට ඉංග්‍රීසි 500
18 වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පහසුකම් වැඩිදියුණු කිරීම 75
19 ජාතික ඖෂධ තත්ත්ව සහතික කිරීමේ විද්‍යාගාරය වැඩිදියුණු කිරීම 25
20 බදුල්ල රෝහලේ හෘද පුනර්ජීවන ඒකකයක් ස්ථාපිත කිරීම 300
21 ශ්‍රී ලාංකිකයන් විසින් සුවපත් කරන ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය –
දේශීය/ආයුර්වේද ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන 100
22 කෘෂි හා ධීවර නවීකරණ මණ්ඩල ශක්තිමත් කිරීම 2,500
23 උතුරු කලාපයේ ධීවර කර්මාන්ත සංවර්ධනය 500
24 ශ්‍රී ලංකා ජාතික සන්නාමය 100
25 පේෂ කර්මාන්තයේ නියැලෙන්නන් ආරිථික වශයෙන් සවිබල ගැන්වීම 300
26 අභ්‍යන්තර අවතැන් වූවන් සඳහා නිවාස ඉදිකිරීම 500
27 යාපනය ජල සම්පාදන ව්‍යාපෘතියේ මූලික කටයුතු ආරම්භ කිරීම 250
28 පුනරීන් නගරය සංවර්ධනය කිරීම 500
29 ගාල්ල දිස්ත්‍රික් ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් කටයුතු 500
30 බණ්ඩාරවෙල තොග එළවළු මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම 250
31 පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය 2,500
32 අනුරාධපුර මහා විහාරයේ විශ්වවිද්‍යාලය ඉදිකිරීමේ වැඩසටහන 400
33 අනුරාධපුරයේ ජාත්‍යන්තර බෞද්ධ පුස්තකාලයක් පිහිටුවීම 100
34 මහනුවර නගරයේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳ නවීන කෞතුකාගාරයක් පිහිටුවීම 200
35 පාසල් සහ පිට පළාත් ක්‍රිකට් සංවර්ධනය 1,500
36 මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය - ප්‍රවේශ මාර්ගය 1,500
37 විසල් මිහින්තලය 200
38 ජාතික ජනසභා ලේකම් කාර්යාලය පිහිටුවීම 700
39 හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉදි කිරීම 2,000
40 තරුණ අභිවෘද්ධිය සඳහා වැඩසටහන 1,000
41 ගාළු දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය 250
42 ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීම 250
43 ජාතික ඵලදායිතා සභාව පිහිටුවීම 150
44 ඩිජිටල් ආර්ථිකයක් 3,000
45 පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා ආයතනික ව්‍යුහය සකස් කිරීම 8,000
46 හරිත ආර්ථිකය – ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම 250
47 පළාත් පාලන ප්‍රදේශවල සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය 1,000
48 සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා රජයේ නිවාඩු නිකේතන භාවිතා කිරීම 600
49 පින්නවල – කිතුල්ගල සංචාරක තීරය සංවර්ධනය 750
50 ශ්‍රී ලංකා රේගුව සඳහා අවධානම් කළමනාකරණ මෘදුකාංගයක් නිර්මාණය කර ක්‍රියාත්මක කිරීම 100
සටහන: (1) මෙම ප්‍රතිපාදනයට අමතරව රු. මිලියන 3,000 ක් වැය විෂය අංක 102-1-02-040-1501 යටතේ දැනටමත් වෙන් කර ඇත.
ඇමුණුම V
බදු පරිපාලනය වැඩිදියුණු කිරීමේ ක්‍රමවේද සහ බදු ප්‍රතිපත්ති සංශෝධන
1. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
1.1 ආදායම් බද්ද (2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට සංශෝධන)
1.1.1 රඳවා ගැනීමේ බදු
(අ) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පවත්වන වෙන්දේසියේ දී අලෙවි කරන මැණික් වල විකුණුම් මිල මත පනවා ඇති රඳවා ගැනීමේ බද්ද සම්බන්ධයෙන් බදු වාර්තාවක් සැපයීමේ විශේෂ අවශ්‍යතාවයක් හඳුන්වා දෙනු ඇත. එම වාර්තාවේ තොරතුරු පදනම් කරගෙන දේශීය ආදායම් පනත යටතේ වන බදු නිදහස් කිරීම ලබා දෙනු ඇත.
(ආ) රඳවා ගැනීමේ අනුයෝජියතයකු විසින් 87 වගන්තිය අනුව නිකුත් කරන රඳවා ගැනීමේ බදු සහතිකය රඳවා ගනු ලැබීමට යටත් වන්නාගෙන් මුදල් අයකිරීමකින් තොරව නිකුත් කළ යුතුය.
1.1.2 ඒකක භාර සහ ඒකක භාර දරන්නන් මත ආදායම් බදු
තක්සේරු වර්ෂය ට පසුව එළඹෙන අගෝස්තු 30 වන දිනට හෝ එදිනට පෙර ආදායම, නිදහස් ප්‍රමාණ සහ රඳවා ගැනීමේ බදු පිළිබඳ විස්තර යනාදී, කොමසාරිස් ජනරාල් විසින් නිශ්චිතව දක්වනු ලබන තොරතුරු ලබා දීමේ අනිවාර්ය අවශ්‍යතාවයට යටත් කොට පවත්නා බදු ක්‍රමය ඒකක භාර සඳහා තවදුරටත් අඛණ්ඩව අදාළ කරනු ඇත.
1.1.3 බදු වාර්තා බාර දීමට අසමත් වීමට එරෙහිව නඩු පැවරීම
බදු වාර්තා සහ බදු නිලධාරීන් විසින් ඉල්ලා සිටින තොරතුරු ලබා නොදෙන තැනැත්තන්ට එරෙහිව නඩු පැවරීම සඳහා විශේෂ දණ්ඩන ප්‍රතිපාදන හඳුන්වා දෙනු ඇත.
1.1.4 ඇතැම් විධිවිධාන වල පැහැදිලි බව වැඩි කිරීම
වගන්ති අදාළ වන ආකාරයේ පැහැදිලි බව වැඩි කිරීම සඳහා 18, 67 සහ 163 යන වගන්ති සංශෝධනය කරනු ඇත.
1.1.5 ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කිරීම
බදු විගණනයක දී හෝ පරිපාලන සමාලෝචනයක දී බදු නිලධාරීන් විසින් ඉල්ලා සිටින නමුත් සාධාරණ කාලයක් තුළ ඉදිරිපත් නොකළ (මුලින්ම ඉල්ලා සිටි දින සිට ලංකාව තුළ පවතින සාක්ෂි නම් මාස 6 ක් සහ අනිත් අනෙකුත් සාක්ෂි සඳහා මාස 9 ක් වශයෙන්) ලේඛනගත සාක්ෂි බදු අභියාචනා කොමිෂන් සභාවේ අභියාචනා විමසීමේ දී ඉදිරිපත් කිරීමට ඉඩ නොදෙනු ඇත 2011 අංක 23 දරන බදු අභියාචනා කොමිෂන් සභා පනතේ අදාල වන ප්‍රතිපාදන ද මේ අනුව සංශෝධනය කෙරේ.
1.1.6 බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය
බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ඇතුළත් සහතිකයේ පිටපතක් ඉදිරිපත් කිරීම පහත සඳහන් අවස්ථා වලදී අනිවාර්ය කෙරේ.
(අ) ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත කිරීම;
(ආ) ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ඉල්ලා සිටින විටෙක. ඉල්ලුම්කරු විසින්
(ඇ) මෝටර් රථයක් ලියා පදිංචි කරන හෝ බලපත්‍රය අලුත් කරන අවස්ථාවක, හිමිකරු විසින්
(ඈ) ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියා පදිංචි කරන විටක. ගැනුම්කරු විසින්
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් විසින් අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරනු ඇත
1.1.7 හිඟ වැටුප් ගෙවීම් මත ආදායම් බදු අය කිරීම
සේවා නියුක්තිකයන්ගේ ඉහළ බදු බර අඩුකිරීම සදහා හිඟ වැටුප් ගෙවීමේදී දැනට පවතින බදු අය කිරීමේ ක්‍රමවේදය 2024 ජනවාරි 1 දින සිට සංශෝධනය කෙරේ.
1.2 එකතු කළ අගය මත බද්ද (2002 අංක 14 දරන එකතුකල අගය මත බදු පනතට සංශෝධන)
1.2.1 බදු ඉන්වොයිසියේ ආකෘතිය කොමසාරිස් ජනරාල් විසින් නිශ්චිතව දැක්වීම සඳහා අවශ්‍ය සංශෝධන හඳුන්වා දෙනු ඇත
1.2.2 සියලුම බදු ගෙවන්නන් සමාන කාල සීමාවන්හිදී බදු වාර්තා ගොනු කරන පරිදි එකතු කළ අගය මත බදු පනතේ 83 වගන්තියේ සඳහන් “බදු අයවන කාල සීමාව” යන්න නිර්වචනය කෙරේ.
1.2.3 2024 ජනවාරි 1 දින සිට එකතු කල අගය මත බදු අනුපාතය ඉහළ නැංවීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ
1.2.4 භාණ්ඩ හා සේවා සැපයීමේදී එකතු කල අගය මත බදු එකතු කිරීමට සහාය වීම සඳහා ස්වයංක්‍රීයව ඉන්වොයිස් කිරීම සහ අලෙවි වාර්තා කිරීම සිදුකරන Point of Sales (POS) යන්ත්‍ර භාවිතා කිරීමට ලියාපදිංචි තැනැත්තන් දිරි ගැන්වේ.
2. සුරාබදු දෙපාර්තමේන්තුව
2.1 ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා බදු පරිපාලන ක්‍රමවේද
2.1.1 පාරිභෝගිකයාට මිත්‍රශීලී සහ කාර්යක්ෂම නියාමන පරිසරයක් ඇති කිරීම සඳහා මාර්ගගත බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතියක් හඳුන්වා දීම
2.1.2 ව්‍යාජ හෝ වංචනිකව මුද්‍රණය කළ ස්ටිකර් ඇතුළු ගැටළු වලට පිළියම් ලෙස ආරක්ෂිත විශේෂාංග සහ ආරක්ෂිත විශේෂාංග කළමනාකරණ පද්ධතිය ඇගයුමට ලක් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම
2.1.3 පහත සඳහන් කටයුතු සඳහා නව සුරාබදු බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙනු ඇත
(අ) විවිධ වර්ගයේ බලපත්‍ර සඳහා අදාළ වන මාර්ගෝපදේශ/රීතීන් විධිමත් කෙරේ
(ආ) නිෂ්පාදන, තොග සහ සිල්ලර බලපත්‍ර සඳහා වෙන වෙනම පත්‍ර කොන්දේසි සහ අවශ්‍යතා හඳුන්වාදීම
(ඇ) සුරාහල් නොමැති ප්‍රදේශ ඇති කරමින් සුරාහල් අතාර්කික ලෙස පැතිර පැවැතීමේ ගැටලුවට පිළියම් යෙදීමේ අරමුණ ඇතිව ඇතැම් බලපත්‍ර සඳහා වන උපරිම සීමාවන් සංශෝධනය කෙරේ
(ඈ) නීති විරෝධී මත්පැන් අලෙවිය අධෛර්යමත් කිරීමට සහ කර්මාන්තයේ විනයානුකූල භාවය පවත්වාගෙන යාම සඳහා නම්‍යශීලී විවෘත කිරීමේ වේලාවන් හඳුන්වාදීම
(ඉ) සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා සම්බන්ධ නියමයන් සංශෝධනය කිරීම
(ඊ) මෘදු මත්පැන් බලපත්‍ර සඳහා නිසි ප්‍රතිපත්තියක් හඳුන්වා දීම
(උ) කර්මාන්තය තුළ විනයානුකූල භාවය හැකි ඉහළම මට්ටමින් පවත්වාගෙන යාම.
(උෳ) සුරාබදු දෙපාර්තමේන්තුව තුළ නිර්මාණ සහ අධීක්ෂණ අංශයක් සහ අවදානම් කළමනාකරණ අංශයක් පිහිටුවීම
(එ) මූලික පරිපාලන කාර්යයන්ට අදාළව ප්‍රධාන කාර්ය සාධන දර්ශක (KPI) හඳුන්වාදීම
2.1.4 නීතිවිරෝධී රා කර්මාන්තය අධෛර්යමත් කරමින් රජයට වැඩි ආදායමක් ලබාගත හැකි වන පරිදි රා ටෙන්ඩර් ක්‍රමය සංශෝධනය කෙරේ.
2.1.5 සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සේවාවන් සඳහා පරිපාලන ගාස්තුවක් හඳුන්වා දෙනු ඇත.
2.1.6 පාර්ශවකාර ආයතන සමඟ ජාලගත වීම සහ බුද්ධිමය තොරතුරු හුවමාරු කර ගැනීම සිදු කෙරේ
2.2 ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිමය යෝජනා
2.2.1 දේශීය සහ විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගෙන රා සහ සියලු ආකාරයේ දේශීයව නිෂ්පාදනය කරන මත්පැන් වල ගුණාත්මක භාවය පවත්වා ගෙන යෑම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ හඳුන්වාදීම
2.2.2 බලපත්‍ර සඳහා වර්තමානයේ පවතින ඉල්ලුම ට අනුරූපීව යන පදනම මත සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීම
2.2.3 විදේශ වෙළෙඳපොළ ඉලක්ක කරගෙන නව මත්පැන් නිෂ්පාදන සඳහා වන ආයෝජන දිරිගැන්වීම
2.2.4 තෝරාගත් දේශීයව නිෂ්පාදිත මත්පැන් බදු නිදහස් සාප්පුවල අලෙවි කිරීමට ඉඩ සැලසීම.
2.2.5 සුරා බදු ආදායම් කළමනාකරණයේ කාර්යක්ෂමතාවය සහ පලදායීතාවය ඉහළ නැංවීමට සහ නාස්තිය සහ දූෂණ අවදානම අවම කිරීමට, 2024 ඔක්තෝම්බර් මස අවසානය වන විට සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා වන ආදායම් පරිපාලන පද්ධතිය (RASED) හඳුන්වා දීම
2.2.6 මත්පැන් කර්මාන්තයෙහි පර්යේෂණ සහ සංවර්ධන, නිෂ්පාදන නව්‍යකරණය, නිෂ්පාදන විවිධාංගීකරණය, ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, අපනයනය දිශානතිය සහ ආනයන ආදේශනය දිරි ගැන්වීම
2.2.7 බීඩි කර්මාන්තය බීඩි කර්මාන්තයේ බදු එකතු කිරීම සහ බලාත්මක කිරීම ශක්තිමත් කිරීම
3. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව
3.1 නවීන මෘදුකාංග විසඳුමක් යොදා ගැනීම මගින් ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ හැකියාවන් සංවර්ධනය කිරීම. මෙම ව්‍යාපෘතියේ ඉලක්ක වන්නේ අනාගත අවශ්‍යතාවයන් සඳහා ආදායම් අවදානම සඳහා අවදානම තක්සේරු කිරීම වැඩි දියුණු කිරීම, රේගු නිෂ්කාශනයේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, රෙගුලාසිවල අනුකූලතාවය තහවුරු කිරීම සහ තිරසාර හැඩගැසිය හැකි මෘදුකාංග පද්ධතියක් නිර්මාණය කිරීම වේ.
3.2 වැරදි ලෙස ඉන්වොයිස් කිරීම වැලැක්වීමට ක්‍රමයක් ස්ථාපනය කිරීම සහ ASYCUDA පද්ධතිය වැඩි දියුණු කිරීම
3.3 රේගු දෙපාර්තමේන්තුවේ මූලික පරිපාලන කාර්යන්ට අදාළව ප්‍රධාන පරිසාධන දර්ශක (KPI) හඳුන්වාදීම
4. තාක්ෂණික දෝෂ නිදොස් කිරීම සහ පරිපාලන ප්‍රතිපාදන නිරාකරණය
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත, 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත, මුදල් පනත් සහ මුදල් (සංශෝධන) පනත්, 2022 අංක 25 දරණ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත, 2011 අංක 21 දරණ විදුලි සංදේශ බදු පනත, 2011 අංක 23 දරණ බදු අභියාචනා කොමිෂන් සභා පනත යන පනත් වල ඇතැම් විදි විධිවිධානයන්හි විෂමතාවයන් සහ අනපේක්ෂිත ප්‍රතිඵලයක් (පරිවර්තන වෙනස්කම් ද ඇතුළුව) නිදොස් කිරීම සඳහා අවශ්‍ය සංශෝධනයන් කරනු ඇත.
ආර්ථික අර්බුදයෙන් ජයගැනීම : අභියෝග සහ විකල්ප
අර්බුදය සඳහා බලපෑ ඓතිහාසික හා ව්‍යුහාත්මක සාධක
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සඳහා මුල් වූ හේතූන් වසර ගණනාවක් ඈතට එනම් දශක ගණනාවක් පුරාවට විහිදේ. නිදහසින් පසු, දශක ගණනාවක් මුළුල්ලේ රට විශාල අයවැය හිඟයක් පවත්වා ගෙන ගොස් ඇති අතර රාජ්‍ය වියදම, රාජ්‍ය ආදායම ඉක්මවා යයි. නිදහසින් පසු වසර 5 ක් වැනි කෙටි කාලයක් පමණක්, එනම් 1954, 1955, 1992, 2017, සහ 2018 යන වසර තුළ රට ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගෙන යාමෙන් මෙය පැහැදිලි වේ. මීට අමතරව, සැලකිය යුතු අන්දමේ ජංගම ගිණුමේ හිඟයක් ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂය තුළ පැවතීමෙන් පෙන්නුම් කෙරෙනුයේ ශ්‍රී ලංකාව රටට දැරිය හැකි මට්ටමට වඩා ඉහළින් ජීවත් වූ බවයි.
දශක ගණනාවක් මුළුල්ලේ රජයේ වියදම් තුළ සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් (සෞඛ්‍ය සේවකයින්, ගුරුවරුන්, හමුදා සහ රාජ්‍ය ආරක්‍ෂාව සහ රාජ්‍ය පරිපාලනය ඇතුළුව), සුබසාධන ගෙවීම් (පොහොර සහනාධාර, සමෘද්ධි/ජනසවිය වැනි සමාජ ආරක්ෂණ ජාල), ණය සේවා සඳහා වියදම් සහ ප්‍රාග්ධන වියදම් (මාර්ග, බලශක්ති සැපයුම, ජල සැපයුම, වාරිමාර්ග, වරාය සහ ගුවන් තොටුපල ආදිය) ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය වියදම් මඟින් බොහෝ දුරට රට තුළ පවතින අවිධිමත් සමාජ සම්මුතිය පිළිබිඹුු කරනු ලබන අතර, පුරවැසියන්ගෙන් බහුතරයක් රජයෙන් විශාල රාජ්‍ය සේවා ප්‍රමාණයක් සැපයීමත්, ආර්ථික ක්‍රියාකාරකම්වලට සැලකිය යුතු සහභාගීත්වයක් රජය විසින් ලබාදීමත් අපේක්ෂා කරයි. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවා, පොහොර සහනාධාර වැනි සැලකිය යුතු මහජන සුබසාධන ක්‍රියාමාර්ග, පොදු ප්‍රවාහනය සහ උපයෝගිතා මේ අතර වේ. රාජ්‍ය සේවයේ මේ වන විට මිලියන 1.3 කට ආසන්න පිරිසක් සිටින අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට දායක නොවන විශ්‍රාම වැටුප් හිමි වන අතර, රජය අවසාන විසඳුමේ දී සේවා යෝජකයා බවට ද පත්ව ඇත. අතීතයේ දී මෙම සම්මතයන්ගෙන් සැලකිය යුතු ලෙස බැහැර වූ රජයයන් සාමාන්‍යයෙන් මැතිවරණවල දී දඬුවමට ලක්විය. දශක ගණනාවක් තුළ සම්මතයක් වන තරමටම රාජ්‍ය මූල්‍ය විනය අඩු මට්ටමක පැවතුණි.
රාජ්‍ය මූල්‍ය ප්‍රවණතා : දශක ගණනාවක් මුළුල්ලේ ණය එකතු වීම
1980 වසරවල දී, ප්‍රාග්ධන වියදම් මුළු රාජ්‍ය වියදම්වලින් සියයට 43 ක් පමණ වූ අතර, 1990 වසරවල දී මෙම අනුපාතය සියයට 25 දක්වා පහත වැටුණු අතර 2000 වසරවල ප්‍රාග්ධන වියදම් මුළු රාජ්‍ය වියදම්වලින් සියයට 25 කට වඩා අඩුවෙන් පැවතුණි. එබැවින්, රාජ්‍ය වියදම්වලින් සියයට 75 ක් ඉහත ක්‍ෂේත්‍රවල (වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධන, පොලී) පුනරාවර්තන වියදම් සඳහා වන අතර, එය බොහෝ දුරට අභිමතය පරිදි සිදු නොවන ස්වභාවයක් ගන්නා අවිධිමත් සමාජ සම්මුතිය සපුරාලීමට අවශ්‍ය වූවක් විය. මෙය, මහජනතාවට අවස්ථාවන් නිර්මාණය කිරීම සඳහා, දිගුකාලීන ආර්ථික වර්ධනයක් ඇති කිරීමේ දී රජයේ ඵලදායී දායකත්වයට බාධාවක් වී ඇත.
වසර 1960 සහ 1992 අතර කාලයේ දී, වසර දෙකක දී පමණක් රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 20 ට වඩා පහත වැටුණි. එනම් 1977 වසරේ සහ 1982 වසරේ දීය. (මෙම වසර දෙකේ දීම රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 19.7 ක් විය). එම කාලයේ දී රජයේ ආදායමට සහාය වූයේ, අපනයන වැවිලි වෙළෙඳ භාණ්ඩවල අතිරික්තය මත බදු අය කිරීමයි. එම කාලය තුළ, වසර 2 කදී පමණක් රජයේ වියදම් සියයට 25 ට වඩා පහත වැටුණි. සැබැවින්ම, වසර 1978 සිට 1991 දක්වා කාලය තුළ රජයේ වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 30 ට වඩා පහත නොවැටුණි.
වසර 1979 සහ 2009 අතර තිස් වසරක කාලය තුළ දී, රජයේ අයවැය හිඟය වසර 4 ක දී පමණක් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7 ට වඩා පහත වැටුණු අතර කිසිදු විටෙක දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ට වඩා පහත නොවැටුණි. මෙම අයවැය හිඟයන්, බදු ආදායම් එකතු කර ගැනීමට එකල පැවති රජයන්ට ඇති හැකියාවට සහ ඊට ඉහළින් පැවති රජයේ වියදම්වල ප්‍රතිඵලය වේ. මෙම හිඟයන් වසර ගණනාවක් පුරා එකතු වූ අතර එය රාජ්‍ය ණය වැඩි වීමට හේතුවක් වී ඇත්තේ රට තමන්ට දැරිය හැකි මට්ටමට වඩා ඉහළින් ජීවත් වූ බැවිනි.
ණය මූල්‍යනය
අයවැය හිඟයන් මූල්‍යනය කළ යුත්තේ, දේශීය වෙළෙඳපොළ මූලාශ්‍රවලින් (භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර, රාජ්‍ය බැංකු අයිරා හෝ මහ බැංකු මූල්‍යනය) හෝ විදේශීය මූලාශ්‍රවලින් ණයට ගැනීමෙනි. මෙම ශේෂය වඩා සැලකිල්ලෙන් කළමනාකරණය කළ යුත්තේ, පොලී අනුපාත ඉහළ යාමට සහ ආර්ථික වර්ධනය යටපත් කිරීමට දේශීය වෙළෙඳපොළෙන් වැඩිපුර ණය ගැනීම හේතු විය හැකි බැවිනි. මේ සඳහා විකල්පයක් ලෙස, මහ බැංකුවෙන් අවශ්‍ය අමතර මුදල් ප්‍රමාණය මූල්‍යනය කිරීම, උද්ධමනය වේගවත් කිරීමට සහ පුරවැසියන්ගේ ධනය හා ක්‍රය ශක්තිය විනාශ කිරීමට හේතු වේ.
එසේම, විදේශ මූලාශ්‍රවලින් අතිරික්ත ණය ගැනීම් ආපසු ගෙවීම් මත පීඩනයන් ඇති කළ හැකි අතර, එය බාහිර ණය නොවන ගලා ඒම් (භාණ්ඩ/සේවා අපනයන සහ ඍජු විදේශ ආයෝජන) හි සමාන වර්ධනයක් සමඟ නොගැලපේ නම්, ගෙවුම් ශේෂ ගැටලු සහ මුදල් අර්බුදයක් ඇති කරනු ඇත.
වසර 1980 සහ වසර 1990 දී ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජපාන රජය වැනි ආධාර සපයන්නන්ගෙන් ලද අඩු වියදම් සහනදායී මූල්‍යයනයන් මඟින් මෙම විශාල අයවැය හිඟයන් මූල්‍යනය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම අරමුදල් ඉතා අඩු පොලී අනුපාත යටතේ (බොහෝ විට සියයට 0 සිට සියයට 2 දක්වා පොලී අනුපාත) වසර 10 ක පමණ සාමාන්‍ය සහන කාල සීමාවන් සහ වසර 30 ඉක්මවන ආපසු ගෙවීමේ සීමාවන් සමඟ ලැබුණි.
එවැනි සහනදායී ණය මූල්‍යනය බාහිර ගිණුම් මත මධ්‍යස්ථ පීඩනයක් ඇති කරන ලද අතර කැපීපෙනෙන දේශීය සම්පත් රැස් කිරීම (දේශීය බදු පදනම) මත රඳා නොසිට මුදල් ප්‍රවාහ අවශ්‍යතා කළමනාකරණය කිරීමට රජයන්ට හැකියාව සලසන ලදී. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය එ.ජ. ඩොලර් 2,000 ඉක්මවන ලද වසර 2006 පමණ තෙක් මෙය සිදු කළ හැකි විය. මෙම සීමාව ඉක්මවා යාම නිසා සාම්ප්‍රදායික ආධාර සපයන්නන්ගෙන් ලද අඩු වියදම් සහනදායී මූල්‍යනය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ හැකියාව අඩු විය.
මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට තිබුණේ තේරීම් දෙකකි. 1) අයවැය හිඟය අඩු කිරීම සහ එනයින්, මූල්‍යන අවශ්‍යතා අඩු කිරීම, 2) විදේශ ණය ගැනීම්හි සිට දේශීය ණය ගැනීම් දක්වා හුවමාරු වීම. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව ඉහළ අයවැය හිඟයන් අඛණ්ඩව පවත්වා ගනිමින් වාණිජ වෙළෙඳපොළ සහ අනෙකුත් සාම්ප්‍රදායික නොවන ද්විපාර්ශ්වික ණය දෙන්නන් වැනි විකල්ප විදේශ මූල්‍ය ප්‍රභවයන් වෙත මාරු වන තෙවැනි විකල්පයක් තෝරා ගන්නා ලදී. පළමුවැන්න සාමාන්‍ය අයවැය හිඟය පියවීමට භාවිතා කරන ලද අතර දෙවැන්න සාමාන්‍යයෙන් ව්‍යාපෘති මූල්‍යනය සඳහා භාවිතා කරන ලදී.
බාහිර වාණිජ මූල්‍ය ලබා ගැනීම් සාමාන්‍යයෙන් වසර 10 ක පමණ දිගු කාලීන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර, කෙටිකාලීන රුපියල් බිල්පත් සහ බැඳුම්කරවල විදේශ ආයෝජන සහ මූල්‍ය ආයතන කිහිපයක් එකතු වී ලබා දෙන කුඩා පරිමාණයේ ණය (syndicated loans) සමන්විත විය. ස්වෛරීත්ව බැඳුම්කර සහ සාමාන්‍ය ද්විපාර්ශ්වික මූල්‍යනයට දළ වශයෙන් වසර 10 ක පමණ පරිණත කාල සීමාවන් තිබුණි.
මෙම කාලපරිච්ඡේදය ඉතා හිතකර බාහිර පරිසරයක් සහිතව ගෝලීය මූල්‍ය වෙළෙඳපොළවල් බහුල ද්‍රවශීලතාවයකින් පිරී ගිය, 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු සහ ඉහළ පොලී අනුපාත සෙවීම සඳහා ශ්‍රී ලංකාව වැනි මෙතෙක් ප්‍රයෝජනයට නොගත් දේශසීමා ආර්ථිකයන්හි ආයෝජනය කිරීමට ආයෝජකයින් වැඩි කැමැත්තක් දැක්වීම සමඟ සමපාත විය.
එබැවින්, වසර 2007 (පළමු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරන විට) සහ වසර 2018 පමණ කාලය තුළ, මෙම ණය උපකරණවල කල්පිරීමේ වාරික ආපසු ගෙවීම සම්බන්ධයෙන් සහ ණය අලුත් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් බාහිර මූල්‍ය කෙරෙහි සීමිත පීඩනයක් පැවතුනි. 2019 වසරේ සිට, නව විදේශ ණය ප්‍රභවයන් පරිණත වීමට පටන් ගත් විට, ශ්‍රී ලංකාවේ විදේශ ණය ආපසු ගෙවීම වසරකට එ.ජ. ඩොලර් බිලියන 4 – 6 දක්වා ඉහළ ගියේය. ඊට වසර කිහිපයකට පෙර, බාහිර ණය ආපසු ගෙවීම සාමාන්‍යයෙන් වසරකට එ.ජ. ඩොලර් බිලියනයකට වඩා අඩු විය.
ණය ආපසු ගෙවීමේ පීඩනය
ණය ආපසු ගෙවීමේ තියුණු වැඩිවීමක් දක්වා ළඟාවන කාල සීමාවේදී (2019 න් ඉදිරියට) ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීමේ හැකියාව ගොඩනැංවීමට පියවර ගත යුතුව තිබුණි. විදේශීය ණය ආපසු ගෙවීමට සහය වීම සඳහා ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වාගෙන යෑම සහ දේශීය බදු ආදායම් පදනම වැඩි කිරීමෙන් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වාගෙන යෑමේත් ස්වරූපයක් වන්නට තිබුණි.
කෙසේ නමුත්, බොහෝ දුරට පවතින තත්ත්වය ඒ ආකාරයේම පැවතුණි. රටෙහි මූල්‍යකරණ විකල්පයන්ගේ විශාල වෙනසක් සිදු වන අතර රටෙහි වියදම් සහ ඉතුරුම් හැසිරීම්වල සුළු වෙනසක් පමණක් ඇතිවීම හෝ වෙනස් වීමක් සිදු නොවීය. අනුප්‍රාප්තික රජයන් විශාල අයවැය හිඟයන් හා ජංගම ගිණුමේ හිඟයන් දිගටම පවත්වාගෙන යෑමක් සිදුකළ අතර රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා කිරීමේ ප්‍රයත්නයන් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියෙහි ස්ථිර ලක්ෂණයක් නොවීය.
ජංගම ගිණුමේ හිඟය 1980 දශකයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් (ද. දේ. නි. යෙන්) සියයට 7.7 සිට 1990 දශකයේදී ද. දේ. නි. යෙන් සියයට 4.8 දක්වාත්, 2015 වර්ෂය දක්වා වසර 10 ක් තුළ ද. දේ. නි. යෙන් සියයට 4.1 දක්වාත් වැඩි දියුණු වූ අතර එම හිඟය තිරසාරව බාහිර ගිණුමට සහායවීමට නොහැකි ලෙස සඳහා වූ හිඟය ඉහළ අගයක පැවතුණි. ගෙවුම් ශේෂයේ බාහිර හිඟය විදේශීය ණය තුළින් පිරවීමට සිදුවුණි.
පසුගිය දශක දෙක තුළ කාල පරිච්ඡේදය ද. දේ. නි. යෙන් ප්‍රතිශතයක් ලෙස අපනයනය පහළ යෑම සමඟද සමපාත විය. ඉහළ ආනයන බදු, අධි තක්සේරු විනිමය අනුපාත සහ ඉතුරුම් අනුපාතයට වූ ඉහළ පරිභෝජනය යන සියල්ල අපනයන විරෝධී තත්වයක් සඳහා දායක වෙමින් ජංගම ගිණුමට අභියෝගයක් විය.
බදු ආදායම ක්‍රමයෙන් වැඩිකළ යුතු වුවද, එහි ප්‍රතිවිරුද්ධතාව සිදු විය. 1996 වසරේ සිට රජයේ ආදායම ද. දේ. නි. යෙන් සියයට 20.1 සිට 2019 වසරේදී ද. දේ. නි. යෙන් සියයට 11.9ක් දක්වා පහළ වැටුණි. 2010 වසරේ සිට රජයේ වියදම ද. දේ. නි. යෙන් සියයට 20 ක පරාසයක පවතින අතර එය කලාපීය හා සම ආදායම් ලබන කාණ්ඩයන් හා සැසඳීමේදී අධික නොවන අතර ශ්‍රී ලංකාවෙහි සාමාන්‍ය අගයටත් වඩා අඩු අගයක පවතී. රට උග්‍ර සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දීම සහ නොසැලකිලිමත් බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමත් මෙයට එකතු වෙන ලදී.
2019 වසර වන විට මධ්‍යම රජයේ සමුච්ඡිත ණය ගැනීම සියයට 82 ක් දක්වා ලඟා වී තිබුණි. අවිධිමත් සමාජ සම්මුතිය පවත්වාගෙන යෑමට වූ වියදම් මට්ටමට සාපේක්ෂව ආර්ථිකය විසින් අඩු මට්ටමක බදු ආදායමක් උපදවන ලදී. 2019 වසර වන තෙක් ණය ආපසු ගෙවීමේ අපහසුතාවයට මුහුණ නොදී බාහිර මූල්‍යකරණයන් සිදු කිරීමට හැකි වුණි.
රාජ්‍ය ව්‍යවසායයන් සහ සංකීර්ණ සාර්ව ආර්ථික අන්තර්සම්බන්ධතා
සමස්ත ණය ප්‍රමාණය ද.දේ.නි. යෙන් සියයට 82 ක් ව පැවතුන ද තවත් සියයට 7 ක පමණ ණය ප්‍රමාණයක් රාජ්‍ය ව්‍යවසායන් වෙත ලබා දි තිබිණ. මෙය විශේෂයෙන්ම ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම යන ආයතනයන් හි කලක සිට එක් රැස් වූ අලාභයන් ගේ ප්‍රතිපලයක් විය.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය යන ආයතනයන්හි එක් රැස් වූ අලාභයන්ට හේතුව වූයේ පැවති රජයයන් විසින් පිරිවැය නිරූපණය වන අන්දමින් ගාස්තු ක්‍රමවේදයක් සහ මිල සූත්‍රයක් හඳුන්වා දීමට අපොහොසත් වීමයි. රජයේ පාලනයෙන් පරිබාහිර බාහිර සාධකයන් (ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන සහ ගල් අඟුරු මිල ඉහලයාම වැනි) හේතුවෙන් එම ආයතනයන් හට ඉහළ පිරිවැයක් දැරීමට සිදු වේ. එහෙත් මහජනතාවගේ අපේක්ෂාව වූයේ එම පිරිවැය පාරිභෝගිකයන් වෙත යොමු නොකළ යුතු බව වන අතර පැවති රජයන් එවැනි බලපෑම් කෙරෙහි අනුගතව කටයුතු කරන ලදී.
එහි ප්‍රතිපලයක් ලෙස, ඉන්ධන මිල සහ විදුලි ගාස්තු නිරතුරුව පිරිවැය ආවරණය කළ හැකි මට්ටමට පහළ අගයක පැවති අතර දීර්ඝ කාලයක සිට එම ආයතනයන් හි අලාභයන් එක් රැස් විය. පිරිවැය ට සාපේක්ෂව අඩු මුදලකට මිල නියම කිරීමේ තවත් අහිතකර ප්‍රතිපලයක් වූයේ, ඉන්ධන සහ විදුලිය අධි පරිභෝජනය වෙත පාරිභෝගිකයන් යොමු වීම වන අතර, ඉන් ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමෙහි හිඟය තවදුරටත් වර්ධනය විය ( ඉන්ධන යනු ශ්‍රී ලංකාවේ විශාලතම ආනයනය වේ).
මෙම රාජ්‍ය ව්‍යවසායන් හි අලාභය රජයේ සංක්‍රම මඟින් අඛණ්ඩව මූල්‍යනය නොකරන ලදී. ඒ වෙනුවට එම අලාභය රාජ්‍ය බැංකු මගින්ද මූල්‍යණය කරන ලදී. එසේ වුවද සිය විකිනුම් මිල පිරිවැයට සාපේක්ෂව නිරතුරුවම පහළ මට්ටමක පැවති හෙයින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය, රාජ්‍ය බැංකු වෙතින් ලබාගත් ණය පියවීම සඳහා ප්‍රමාණවත් අතිරික්ත ආදායමක් උපයාගැනීමට අපොහොසත් විය.
එබැවින්, රාජ්‍ය ව්‍යවසායන් ගේ ණය රාජ්‍ය බැංකු තුල ඒකරාශී වෙමින් පැවති අතර, එම බැංකු වල ස්ථාවර භාවය කෙරෙහි ද ඉන් අහිතකර බලපෑමක් ඇති විය. එම ණය පහසුකම් අතරින් බහුතරයක් අවශ්‍ය වූයේ විදුලිබල සහ ඉන්ධන නිශ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා වූ අතර එම ණය පහසුකම් විදේශ මුදල් මගින් ගෙවිය යුතු විය. එබැවින්, ඉහත ආයතනයන්හි ශේෂ පත්‍රයන් හි පැවති ණය මූල්‍යණය කිරීමට වෙනත් විකල්ප විදේශ මූලාශ්‍ර වෙතින් ණය ලබා ගැනීමට රාජ්‍ය බැංකු කටයුතු කරන ලදී. මෙම ණය විෂම චක්‍රය විදේශ මූල්‍ය ප්‍රවාහයන් විවෘතව පවතින තෙක් පමණක් පවත්වාගෙන යාමට හැකි විය.
මේ අතර, ඒ ඒ රාජ්‍ය ව්‍යවසායන් අතරද ණය එක් රැස් වීම සිදු විය. විදුලි ගාස්තු ඉහළ දැමීමට නොහැකි වීම හේතුවෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙතින් ලබාගත් ඉන්ධන පිරිවැය සම්පූර්ණ වශයෙන් ගෙවීමට ප්‍රමාණවත් අදායමක් ලංකා විදුලිබල මණ්ඩලය සතු නොවීය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුල ද ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත ගෙවිය යුතු විශාල හිඟ මුදලක් එක් රැස්වී තිබිණි. මෙම තත්වය තවදුරටත් උග්‍ර වූයේ එම රාජ්‍ය ව්‍යවසායන් හි පරිපාලන සහ කළමනාකරණ දුර්වලතා මෙන්ම, තිරසාරබව සහ මූල්‍ය ස්ථාවරත්වය අරමුණු කරගනිමින් වාණිජමය නැඹුරුවක් සහිතව කටයුතු කිරීමට අපොහොසත් වීම නිසයි. මේ මගින් ඉතා සංකීර්ණ සහ අවදානම් සහගත ණය එකරැස් වීමේ තත්වයක් ආර්ථිකයේ විවිධ අංශ කරා විහිදී ගිය අතර ඉන් මූල්‍ය අංශය වෙත ඉහළ අවදානමක් ඇති කරන ලදී.
පෙර පැවති රජයන් වෙළෙඳපල මිල ගණන් යටපත් කරමින් සුභසාධන අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට උත්සාහ කළ අතර, රාජ්‍ය ව්‍යවසායන් විශාල වශයෙන් පාඩු ලැබීමට සහ එහි ප්‍රතිඵලයක් ලෙස අයහපත් රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය අංශයේ අයහපත් ප්‍රතිථල ඇති විය. සුබසාධන අරමුණු වෙනුවට ඉලක්කගත ඍජු මුදල් හුවමාරු මගින් විසඳුම් යෙදිය යුතුව තිබුණි. දුර්වල රාජ්‍ය පාලනය සහ මූල්‍ය විනය නොමැතිකම මෑත දශකවල පැවති රජයන්ගේ ලක්‍ෂණයක් විය. රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත අඛණ්ඩව උල්ලංඝණය කිරීම, ආදායම් එකතු කිරීමේ දෙපාර්තමේන්තුවල ආයතනික දුර්වලතා සහ දූෂණ අවදානම් සහ ආයෝජන දිරිගැන්වීමේ යෝජනා ක්‍රම අවභාවිත කිරීම එවැනි මූල්‍ය පාලන ගැටළු සඳහා උදාහරණ කිහිපයක් පමණි.
මෙම දශක කිහිපයක ඉතිහාසය, ක්‍රමයෙන් පහළ යන රාජ්‍ය ආදායම හමුවේ, ශ්‍රී ලංකාව සිය අවිධිමත් සමාජ සම්මුතියෙහි බලපෑම හමුවේ විශාල රාජ්‍ය අංශයක් සහ රාජ්‍ය මැදිහත් වීමක් නඩත්තු කිරීමට දරන ලද උත්සාහය පිළිබිඹු කරයි. එමගින් ඇතිවූ අසමතුලිතතාවයන් මූල්‍යණය කිරීමට සිදුවූයේ අභියෝගාත්මක ගෙවීම් කොන්දේසි සහිත සහ දිනෙන් දින ඉහළ යන පිරිවැය අධික විදේශ ණය පහසුකම් භාවිතයෙනි. මෙම ව්‍යූහාත්මක අසමතුලිතතාවයන් හේතුවෙන් ආර්ථික කම්පනයන් හට ඉතා සංවේදී සහ අවදානම් සහගත තත්වයකට ශ්‍රී ලංකාව පත්විය.
2021/ 2022 ආර්ථික අර්බුදය
2016 වසරේ ශ්‍රී ලංකාව සිය 16 වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන ආරම්භ කරන ලද්දේ ඉදිරි කාලය තුල ඇතිවිය හැකියැයි අපේක්ෂා කරන ලද අභියෝග හේතුවෙනි. එමගින් එකතුකරන ලද අගය මත බද්ද සියයට 15 ක් දක්වාද, පුද්ගලික ආදායම් බද්දෙහි ඉහළම අගය සියයට 24 දක්වාද ආයතනික ආදායම් බද්දෙහි අගය සියයට 28 දක්වාද (මෙහිදී කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය, අපනයන, සංචාරක, තොරතුරු තාක්ෂණ, කෘෂිකාර්මික, සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන් වෙත 14 % ක සහනදායී බදු අනුපාතයක් පණවන ලදී) ඉහළ දමමින් ආදායම පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ඇති කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලදී.
එමගින් 2017 සහ 2018 වසර තුළ අයවැයෙහි ප්‍රාථමික අතිරික්තයක් (ඇතැම් හිඟ ගෙවීම් සහිතව වුවද) සාක්ෂාත් කරගැනීමට හැකිවූ අතර 2014 වසරේ වාර්තාකරන ලද ද.දේ.නි. යෙන් සියයට 11.2 ක් වූ රාජ්‍ය ආදායම ක්‍රමයෙන් ඉහළ යාමට විය. ලබාගත් ණය විශාල ප්‍රමාණයක් පියවීමට සිදුව තිබූ ඉදිරි කාල පරිච්ඡේදය තුල රාජ්‍ය මූල්‍ය සහ ණය තිරසර භාවය ඇති කිරීමට එවක පැවති රජය අපේක්ෂා කරන ලදී. එහිදී මූලික ප්‍රමුඛතාවය ලබාදෙන ලද්දේ ණය ශ්‍රේණිගත කිරීම් යහපත් මට්ටමක පවත්වා ගෙන එම ණය පියවීම සඳහා මූල්‍ය වෙළඳපොළ වෙත ප්‍රවිශ්ඨ වීමේ හැකියාව පවත්වා ගැනීම ය.
2020 වසරේ මැද භාගයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි වැඩසටහන හදිසියේ අතහැර දමන ලදී. ඒ සමඟම එකතු කරන ලද අගය මත බද්ද සියයට 8 දක්වාද, පුද්ගල ආදායම් බද්ද සියයට 18 දක්වාද, සංස්ථාපිත ආදායම් බද්දෙහි ඉහලම අගය සියයට 24 දක්වාද තොරතුරු තාක්ෂණය සහ කෘෂිකාර්මික අංශ සඳහා සියයට 0 ආදී වශයෙන් විවිධ බදු සහන පුළුල් කරන ලදී. මෙම රාජ්‍ය මූල්‍ය වැඩපිළිවෙළ තුල සිදුවූ වෙනස්කම් සමග ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ශ්‍රී ලංකාවට අවාසිදායක ලෙස ප්‍රතිචාර දක්වන ලද අතර 2020 මුල් කාලය වන විට විදේශීය ප්‍රාග්ධන වෙළඳපල වෙත ප්‍රවිශ්ඨ වීමේ අවස්ථා අහුරාලමින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ හෙලීමට කටයුතු කරන ලදී. ඇත්තෙන්ම 2019 දෙසැම්බර් මාසයේදී බදු කපාහැරීම් ප්‍රකාශයට පත් කීරීමත් සමඟ Fitch Ratings ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමේ දැක්ම (Outlook) ඍණ අගයක් දක්වා පහත හෙළන ලද අතර ණය තිරසාර භාවය කෙරෙහි බදු කපාහැරීම අයහපත් ලෙස බලපාන බව ඊට හේතුව ලෙස ප්‍රකාශ කරන ලද අතර 2022 වසරේ මුල් භාගය දක්වා දිගින් දිගටම ණය ශ්‍රේණිගත කිරීම් පහත දමන ලදී.
කොවිඩ් 19 වසංගත තත්වයෙන් ද ආර්ථිකය වෙත තවදුරටත් පහර එල්ල වූයේ මෙම සන්දර්භය තුල දී ය. එමගින් ඇතිවූ රට වසා දැමීම් සහ ආර්ථික ක්‍රියාකාරීත්වයන් ඇණ හිටීම යනාදිය හේතුවෙන් රාජ්‍ය ආදායම මුළුමනින්ම කඩා වැටුණු අතර අයවැය හිඟය සියයට ඉලක්කම් දෙකක අගයක් දක්වා ප්‍රසාරණය විය. ණය ශ්‍රේණිගත කිරීම පහත වැටීම හේතුවෙන් ඉහළ යන අය – වැය හිඟය පියවීම සඳහා විදේශ ණය ලබාගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි විය. ආර්ථික ක්‍රියාකාරීත්වයන් වෙත සහය දීම සඳහා තවදුරටත් පොලී අනුපාතික තනි ඉලක්කමක පැවතිය යුතු බව රජයේ මතය විය. සමස්ත අයවැය හිඟය දේශීය භාණ්ඩාගාර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් වෙලඳපොළ මගින් පියවීම හේතුවෙන් පොලී අනුපාතයන් ද ඉහළ යාමට ඉඩ තිබුණි. එබැවින්, රජය අයවැය හිඟයෙන් වැඩි ප්‍රමාණයක් මහබැංකු මූල්‍යණය (මුදල් මුද්‍රණය) මගින් ඍජුවම පියවා දමන ලදී.
2020 වසර මුල් භාගයේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් හදිසි මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහා උත්සාහයක් දරන ලදී. මෙම මූල්‍ය ක්‍රමවේදය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වසංගත තත්වය හේතුවෙන් ඇතිවූ බලපෑමෙන් මිදීම සඳහා විවිධ රටවල් ගණනාවක් වෙත ලබා දෙන ලදී. එසේ වුවද ඒ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවයක් නොමැති බවත්, රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිසි පියවර නොගතහොත් එම ආයතනයට ශ්‍රී ලංකාව වෙත අදාළ ණය පහසුකම ලබාදිය නොහැකි බවත් දැනුම් දෙන ලදී. එහෙත් රජය එම විකල්ප විසඳුම සමග ඉදිරියට යාම වෙනුවට ” දේශීය ක්‍රමවේදයක් ” තෝරාගන්නා ලදී.
දේශීය ක්‍රමවේදය
ඉන් පසු එළඹි වසර දෙක තුළ ඉලක්කම් දෙකක අගයක් දක්වා ඉහළ ගිය අය වැය හිඟය දේශීය ණය සහ විශාල වශයෙන් මහ බැංකුවේ මූල්‍යණය මගින් පියවීමට රජය විසින් කටයුතු කරන ලදී. විදේශ ණය නොලැබීම හේතුවෙන් කල් පිරුණු ණය නැවත පියවීම සඳහා නැවත ණය ලබා ගැනීමට නොහැකි වූ අතර, ඒ සඳහා විදේශ සංචිත භාවිතා කරන ලදී. 2019 වසර අවසාන වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7.6 ක් ව තිබූ විදේශ සංචිත ක්‍රමයෙන් පහළ වැටීම ආරම්භ විය.
මෙම කාලය තුළ ගෙවුම් ශේෂය වෙත ජංගම ගිණුමේ ප්‍රවාහයන් ද ක්‍රමයෙන් අඩු වූයේ කොවිඩ් 19 වසංගතය අතර සංචාරක ක්ෂේත්‍රයේ ආදායම අහිමි වීම හේතුවෙනි. රජය ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 203 ක අගයක පවත්වාගෙන යාමට තීරණය කිරීමත් සමග අවිධිමත් වෙළඳපළ තුල ඉහළ මිළකට ඩොලර් හුවමාරු වීම මගින් පැවති ප්‍රේෂණයන්ද බැංකු පද්ධතියෙන් ඉවතට ඇදී ගොස් විදේශ ප්‍රේෂණ ද පහළ යාම ආරම්භ විය. මෙම තත්වය තවත් උග්‍ර කරමින්, ආයෝජකයින්, විදේශ පාර්ශ්වකරුවන් මෙන්ම විදේශිකයන්ගේ ගේ විශ්වාසය ද පළුදු වූ අතර ඒ හේතුවෙන් විදේශ මූල්‍ය ප්‍රවාහයන් තවදුරටත් වියැකී යන ලදී.
2022 වසරේ දෙවන භාගය වන විට නිළ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 3.0 කට වඩා පහළ අගයකට කඩා වැටුණු අතර බැකු පද්ධතිය තුල ඇතිවූ විදේශ මුදල් ද්‍රවශීලතා හිඟය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහ උපයෝගීතාවයන් ගේ හිඟයක් බවට පරිවර්තනය විය. ගෘහස්ථ ගෑස් වැනි දෑ මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් ඇතිවිය. CCC සහ ඉන් පහළ ණය ශ්‍රේණිගත කිරීම හමුවේ විදේශ මූල්‍යණයන් ලබාගැනීමට රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම තත්වය තවදුරටත් ව්‍යාප්ත විය.
මේ සමගම, කොවිඩ් 19 වසංගතය අවසන් වීමත් සමග ලෝකයේ මධ්‍යම බැංකු සිය මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම හේතුවෙන් ලෝක වෙළඳපොළ තුළ පසුගිය වසර පහලොවක සිට පමණ පැවති හිතකර ද්‍රවශීලතා තත්වයන් ආපසු හැරවිණි. 2022 මාර්තු මස වනවිට ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුව පොලී අනුපාත ඉහළ දැමූ අතර ඉන් ලෝක වෙළඳපොළ තුල ද්‍රවශීලතාව පහළ යන ලදී. ලෝකයේ අනෙකුත් මධ්‍යම බැංකු විසින් ද මෙම ප්‍රතිපත්තිය අනුගමනය කරන ලදී.
2022 මුල් භාගය වන විට විදේශ විනිමය හිඟතාවය අතිශයින්ම බැරෑරුම් තත්වයකට පත් විය. විදේශ විනිමය වෙළඳපොළ තුල අන්තර් බැංකු ගනුදෙනු කිහිපයක් පියවීමට නොහැකිවූ අතර විවෘත කළ ණයවර ලිපි පියවීමට අපොහොසත් වූ අවස්ථා වාර්තා විය. බැංකු වෙතද විදේශ මුදල් ලබාගත හැකි මාර්ග ඇහිරුණු අතර අන්තර් බැංකු වෙළඳපළ තුළද ගනුදෙනු කිරීමේ අවකාශ අහිමි විය. ණයවර ලිපි මගින් අත්‍යාවශ්‍ය ආයනයන් සිදු කිරීම තවදුරටත් විකල්පයක් නොවිණ. මෙම තත්වය තුල බැංකු පද්ධතිය අර්බුදයකට යාමෙන් වැලකී සිටියේ ඉතා අසීරුවෙනි.
පෙට්‍රල් හෝ ඩීසල් ලීටර දහයක් ලබාගැනීමට ජනතාවට දින හතරක් පහක් පෝලිම් වල සිටිය යුතු මට්ටමේ ඉන්ධන හිඟයක් ඇතිවිය. පැය 13 ක් පමණ දක්වා විදුලි කප්පාදු පැවතින. අත්‍යාවශ්‍ය ඖෂධ හිඟ විය. ඇතැම් පුද්ගලයන් පෝලිම් වල සිටියදී මරණයට පවා පත් විය. ශ්‍රී ලංකාව තුල රැඳී සිටි සංචාරකයන් අතලොස්සක් පවා අඳුරේ අහාර ගන්නා ආකාරය ඇතුලත් ඡායාරූප ලොව පුරා ප්‍රචාරය විය. සැපයුම්දාම වෙත එල්ල වූ බාධා හේතුවෙන් පොහොර හිඟතාවයෙන් දුෂ්කරතාවයන්ට පත්ව තිබූ කර්මාන්ත සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර බිඳවැටුණි. දේශීය ආහාර නිෂ්පාදන හිඟයක් ඇතිවුවහොත් ආහාර ආනයනයට ප්‍රමාණවත් විදේශ මුදල් නොමැතිවීම නිසා පොහොර හිඟතාවය 2022 වසර මැද භාගයේදී ආහාර අර්බුදයක් බවට පරිවර්තනය විය.
සැපයුම් දාමයන්හි බිඳවැටීම් සහ වසර දෙකක මහබැංකු මූල්‍යණය හේතුවෙන් ඉල්ලුමෙන් ඇති වූ බලපෑම හේතුවෙන් උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළ යාම ආරම්භ විය. මිළ මට්ටම් ඉහළ යාම සමග ජනතාවගේ, විශේෂයෙන්ම ජනතාවගේ මූර්ත ආදායම සහ ධනය දිනෙන් දින පහළ යන ලදී. අවසානයේ 2022 සැප්තැම්බර් මස වනවිට උද්ධමනය ශ්‍රී ලංකාව තුල ඉතිහාසගත 70 % ක අගයක් කරා ළඟා විය.
2022 මාර්තු මාසයේ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවති මහජන උද්ඝෝෂණ මහාපරිමාණ අරගලයක් දක්වා උත්සන්න විය. 2022 මාර්තු 18 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකතුව වැඩ කිරීම සඳහා නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ඉල්ලීමක් කරන ලද අතර, අප්‍රේල් 07 වන දින නැවත මූල්‍ය අරමුදලෙහි සහාය ලැබෙන සුදුසු වැඩසටහනක් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන ලදී. කැබිනට් අමාත්‍ය වරු ඉල්ලා අස්වූ අතර මහ බැංකු අධිපති තුමා සහ භාණ්ඩාගාර ලේකම් තුමා ද ඉල්ලා අස් විය. අප්‍රේල් මස පළමු සතියේ නව මහබැංකු අධිපති වරයෙකු සහ නව භාණ්ඩාගාර ලේකම් වරයෙකු පත් කෙරිණි.
2022 අප්‍රේල් 11 වන දින වන විට භාවිතයට ගත හැකි විදේශ මුදල් සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 24 ක් දක්වා සිඳී ගියේය. අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු අප්‍රේල් 18 වන දින යෙදී තිබූ ණය සේවා වාරිකය පියවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 182 ක් අවශ්‍ය විය. ඉන්ධන, ගල් අඟුරු සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ලබාගත් කෙටිකාලීන ණය ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් පමණ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවීමට සිදුව තිබිණ. 2022 වසරේ ඉදිරි කාලය තුළ ගෙවීමට තිබූ සමස්ත ණය සහ පොලී වාරික වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 4.3 ක් පමණ විය. ශ්‍රී ලංකාව සතුව වෙනත් කිසිදු විකල්පයක් නොතිබුණු අතර ණය ප්‍රතිව්‍යුහකරණය කරන තෙක් රජයට ඒක පාර්ශ්විකව ඇතැම් තෝරාගත් ණය ආපසු ගෙවීම අත්හිටුවීමක් නිවේදනය කිරීමට සිදුවිය. ශ්‍රී ලංකාව නිල වශයෙන් බංකොලොත් රාජ්‍යයක් බවට පත්විය.
ආර්ථිකය මුදා ගැනීම
2022 අප්‍රේල් මාසයේ සිට පුළුල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කරමින්, ශ්‍රී ලංකා ආර්ථිකයේ ගැඹුරින් මුල් බැස ඇති ව්‍යුහාත්මක අසමතුලිතතාවයට විසඳුම් ලබා දෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවලට එළඹියේය. මෙය රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා පැවැත්වෙන සාමාන්‍ය වැඩසටහනක් මෙන් නොවීය; එවැනි වැඩසටහන් වලදී, 2016 දී මෙන්, කොන්දේසි සාකච්ඡා කිරීමේදී තරමක් නම්‍යශීලී බවක් ඇත. 2020 දී එම වැඩසටහන අතරමඟ නතරකිරීමත් සමඟ ශ්‍රී ලංකාවට අවාසනාවන්ත ලෙස එම අවස්ථාව අහිමි විය.
2022 වැඩසටහන, තිරසර නොවන ණය තත්ත්වයක සිට ක්‍රියාත්මක වූ අතර, එම නිසා, ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ ඔවුන්ගේ හිමිකම් මත පාඩු දරා ගන්නා ලෙස ණය හිමියන්ගෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සිදු කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේ රට ගැඹුරු මෙන්ම අර්ථාන්විත ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටින බව සහ ඔවුන්ගේ හිමිකම් මත පාඩු දරා ගනිමින් එයට සහය දිය යුතු බව බාහිර ණය හිමියන්ට පෙන්නුම් කරදීමට සිදුවිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ වීමේ වැදගත්ම අංගය වූයේ එය රට ගමන් කරන ආර්ථික මාවතට විශ්වසනීයත්වයක් සැපයීමයි. එම විශ්වසනීයත්වය නොමැතිව රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම බාහිර පාර්ශවයන් මූල්‍ය ආධාර හෝ වෙළඳ ණය පවා ලබාදීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට කැමැත්තක් නොදක්වයි. පවතින ආර්ථික සන්දර්භය තුළ 2023 නොවැම්‍බරයේ දී පවා, එම මාර්ගයෙන් බැහැරවීමත් ආර්ථික මාවතේ විශ්වසනීයත්වය අඩපණ කරනු ඇති අතර විදේශ මූල්‍ය සඳහා ශ්‍රී ලංකාවට ඇති ප්‍රවේශය නැවත වරක් අවහිරකරනු ඇත.
කඩිනම් ප්‍රමුඛතාවය වූයේ ගැඹුරු රාජ්‍ය මූල්‍ය අසමතුලිතතාවයන් සඳහා පිළියම් යෙදීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොසලකා හැරියේ වුව ද, මූලික මහජන සේවාවන් පවා සැපයීමට හැකි වන පරිදි ආදායම් උත්පාදනයේ සැලකිය යුතු වැඩි වීමක් නොමැතිව රජයේ මුදල් ප්‍රවාහයන් තිරසාර නොවීය. රජයේ වියදම් දැඩි වශයෙන් අනම්‍ය හා අභිමතානුසාරී නොවන වියදම් අයිතම වේ. ප‍්‍රසම්පාදන හා ප‍්‍රාග්ධන වියදම්වල වැඩි කාර්යක්ෂමතාව සහ විනය තුළින් ලබා ගත හැකි සීමිත ඉතුරුම් කුමක් වුවද, පුළුල් රාජ්‍ය මූල්‍ය පරතරය පියවා ගැනීමට ප‍්‍රමාණවත් නොවේ.
භාණ්ඩාගාර මුදල් ප්‍රවාහ පීඩනය
2023 නොවැම්බර් වන විට ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සමඟ වුවද, ඉදිරි වසර තුළ සෑම මසකම මහා භාණ්ඩාගාරය රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීමට රු. බිලියන 93ක්, නොමිලේ ඖෂධ, ඇස්වැසුම ඇතුළු සමාජ සුබසාධනය සහ විශ්‍රාම වැටුප් ගෙවීමට රු. බිලියන 70ක් සහ මාසික පොලී වාරික ගෙවීමට රු. බිලියන 220 ක් සොයාගත යුතු වේ. මෙම අයිතම තුනට පමණක් මසකට රු. බිලියන 383 ක් වැය වේ. මෙම වියදම් අයිතම කිසිවක් කෙටි කාලීනව පහසුවෙන් අඩු කළ නොහැක. සාපේක්ෂව, 2023 පළමු මාස නවය තුළ බදු ආදායමෙහි මාසික සාමාන්‍යය රු. බිලියන 215 කි. මෙය ණය ආපසු ගෙවීම සහ අත්‍යවශ්‍ය ප්‍රාග්ධන ආයෝජන සලකා බැලීමට පෙරය.
අතීතයේදී විදේශ මූලාශ්‍රවලින්, රාජ්‍ය බැංකු අයිරාවලින් ණය ලබාගෙන, එසේ නොමැති වූ විට මහ බැංකුව හරහා ඍජුව ණය මුදල් ගෙවීමෙන් (මුදල් අච්චු ගැසීම) මෙවැනි අයවැය හිඟයක් පියවා ගැනීමට හැකි විය. අද වන විට, ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් ඉතා සීමිත විදේශ මූල්‍ය පහසුකම් පමණක් ඇත. රාජ්‍ය බැංකු අයිරාව 2021 වසරේ වූ රු. බිලියන 900 සිට මේ වනවිට රු.බිලියන 70 ක් දක්වා අඩුකර ඇති අතර, නව මහ බැංකු පනත යටතේ මහ බැංකු මූල්‍යකරණයට ද අවසර නොමැත.
බදු ප්‍රතිසංස්කරණ
එබැවින්, රාජ්‍ය ආදායම දැනට පවතින ද. දේ. නි. යෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 10 සිට අවම වශයෙන් ද. දේ. නි. යෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 15 ක තිරසාර මට්ටමකට වැඩිදියුණු වන තුරු නුදුරු අනාගතයේ දී තවත් අර්බුදයක් ඇතිවීම වළක්වා ගත නොහැකි වනු ඇත. මේ සන්දර්භය තුළ, බදු එකතු කිරීම වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් රජයට නොතිබිණි. එසේ කිරීමේදී, ආයතනික සහ පුද්ගලික ආදායම් බදු වැනි ප්‍රගතිශීලී සෘජු බදුවලින් ආදායම උපරිම කර ගැනීම සහ එකතු කළ අගය මත බදු (VAT) සහ ප්‍රධාන නිෂ්පාදන බදු/ සුරාබදු (දුම්කොළ, මද්‍යසාර, ඉන්ධන) ඇතුළු මූලික බදු කිහිපයක සරල ව්‍යුහයක් කෙරෙහි අවධානය යොමු කිරීම අවධාරණය කර ඇත.
පුද්ගලික ආදායම් බදු සම්බන්ධයෙන්, කුටුම්භ ආදායම් සහ වියදම් නිල සමීක්ෂණ දත්ත මත පදනම්ව බදු ව්‍යුහය සකස් කරන ලදී. ඒ අනුව, මාසයට රු. 100,000/- ක බදු නිදහස් සීමාවක් සහිතව තවමත් පුද්ගලික ආදායම් බද්දට යටත් වන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ඉහළම 20% පමණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන විධිමත් ලෙස ආරම්භ කර වසරකටත් අඩු කාලයකදී ජනගහනයෙන් ඉහළම ආදායම් ලබන 20% සඳහා බදු අඩුකිරීම් ඉල්ලා සිටීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ණයහිමියන් සමඟ සාකච්ඡා කිරීම ශ්‍රී ලංකා බලධාරීන්ට ඉතා අභියෝගාත්මක ය.
සෞඛ්‍ය, අධ්‍යාපනය සහ අත්‍යාවශ්‍ය ආහාර වර්ග කිහිපයකට අදාළ නිෂ්පාදන හැර අනෙකුත් සියලුම එකතු කළ අගය මත බදු නිදහස් කිරීම් ඉවත් කිරීමත් සමඟම එකතු කළ අගය මත බදු අනුපාතය 2024 ජනවාරි මාසයේදී 18% දක්වා වැඩි කෙරේ. මෙය ඉන්දියාව සහ පකිස්ථානය ඇතුළු කලාපීය රටවල සම්මත එකතු කළ අගය මත බදු අනුපාතය අනුව, ශ්‍රී ලංකාව පෙළගස්වයි. එකතු කළ අගය මත බදු එකතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සමස්ත බදු ඉලක්ක සපුරා ගැනීමට හැකි වූ පසු, විකෘති ස්වභාවයක් ඇති කරන සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) වැනි අනෙකුත් වක්‍ර බදු ඉවත් කිරීමටත්, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) තාර්කීකරණය කිරීමටත් හැකි වනු ඇත.
බදු අනුකූලතාවය සහ පරිපාලනය
මුදල් ප්‍රවාහ හිඟය පියවීමට සහ මූලික මහජන සේවාවන් සැපයීමට හැකිවනු පිණිස බදු අනුපාත වැඩි කිරීම අත්‍යවශ්‍ය වී ඇති අතර, ආදායම්වල තිරසාර වැඩිවීමක් සඳහා බදු පරිපාලනයේ සහ අනුකූලතාවයේ සැලකිය යුතු වර්ධනයක් අත්‍යාවශ්‍ය වේ. බදු පරිපාලනය වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. මේ සඳහා ගැඹුරු ආයතනික ප්‍රතිසංස්කරණයක්, පුළුල් ඩිජිටල්කරණයක් සහ අදාළ දෙපාර්තමේන්තු තුළ සහ ඉන් පිටත මානසිකත්වයේ සැලකිය යුතු වෙනසක් අවශ්‍ය වේ.
මෙහිදී නැවතත්, දශක කිහිපයක් පුරා කාවැදී ඇති ගැඹුරු උරුම ගැටළු සහ ව්‍යුහාත්මක ගැටළු වල වෙනසක් එක රැයකින් අපේක්ෂා කිරීම ප්‍රායෝගික නොවේ. මානව මැදිහත්වීම අවම කරමින් ඩිජිටල්කරණය වේගවත් කිරීමට පියවර දැන් ආරම්භ කර ඇත. මේ වසරේ දෙසැම්බර් වන විට ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි, ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) සඳහා දිගුකාලීන හිඟ මුදල් පියවා ඇත. මෙතෙක් බදු ජාලයෙන් බාහිරව පිහිටි වෘත්තීය ආයතන අද වන විට ලියාපදිංචි කර ඇත. අනුකූලතාව වැඩි දියුණු කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මූල්‍ය ආයතන, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) වැනි ප්‍රධාන රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීම වේගවත්ව කෙරෙමින් පවතී.
බදු අධිකාරීන් ද නිශ්චිත ඉලක්ක තබාගනිමින්, පසුගිය ගෙවිය යුතු බදු අයකර ගැනීමේ උත්සාහයන් වේගවත් කරමින් සිටී. කෙසේ වෙතත්, මෙම පසුගිය ගෙවිය යුතු බදු බොහොමයක් නීතිමය ආරවුල්වලට යටත්ව ඇති බව මතක තබා ගත යුතුය. නියමිත නීත්‍යානුකූල ක්‍රියාවලිය අවසන් වන තුරු රජයට නීත්‍යානුකූලව ලැබිය යුතු ආදායම් කිසිවක් ඉල්ලා සිටීමට නොහැකි වනු ඇත.
මෙම අනුකූලතා පියවර ඉදිරි වසරවලදී ශ්‍රී ලංකාවේ ආදායම් එකතු කිරීම වැඩිදියුණු කරනු ඇත – නමුත් අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට යම් කාලයක් ගතවනු ඇත. එතෙක් රජයට මූල්‍ය පරතරය පියවා ගැනීමට සහ මූලික මහජන සේවාවන් සැපයීමට අරමුදල් සැපයීම සඳහා බදු අනුපාත වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබුණි. දැනට ශ්‍රී ලංකා බලධාරීන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග හැරෙන්නට ඉතිරිව ඇත්තේ ඉතා අඩු ඉඩක් හෝ අඩු ප්‍රතිපත්තිමය විකල්පයන් බව පැහැදිලි විය යුතුය.
රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිසංස්කරණය: බැංකු සමඟ සංකීර්ණ අන්තර්ක්‍රියා සඳහා පිළියම් යෙදීම
ඒ හා සමානව, පිරිවැය සම්පූර්ණයෙන්ම පිළිබිඹු වන ආකාරයෙන් විදුලිය සහ ඉන්ධන මිලකරණය සහතික කිරීම සම්බන්ධයෙන් සුළු හෝ විකල්පයක් නොමැත. පිරිවැයට වඩා අඩුවෙන් මිල ගණන් නියම කිරීම හේතුවෙන්, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) අඛණ්ඩව පාඩු ලැබූ අතර 2022 වන විට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ණය රුපියල් ට්‍රිලියනයකට ළඟා වූ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ ණය රු. බිලියන 800 කි. මෙම අවස්ථාවේදී රාජ්‍ය බැංකුවලට තවදුරටත් මෙම ආයතන දෙකෙහි කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා මුදල් යෙදවීමට නොහැකි වූ අතර ආයතන දෙක සඳහා පිරිවැය පිළිබිඹුවන මිලකරණය ක්‍රියාත්මක කරන තෙක් විදුලිය සහ ඉන්ධන සැපයීම ඇනහිටීමට ඉඩ තිබුණි.
රාජ්‍ය බැංකු මත ඒකරාශී වී ඇති රජය සතු ව්‍යවසායන්ගේ මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය දැන් ක්‍රියාකරමින් සිටී. මෙම ණය ප්‍රතිව්‍යුහගත කළ විට, බදු ගෙවන්නන්ගේ අරමුදල්වලින් ප්‍රාග්ධන මුදල් සම්භාරයක් මගින් පියවිය යුතු විශාල පාඩුවලට බැංකුවලට මුහුණ දීමට සිදුවේ. 2024 දී රජය විසින් රාජ්‍ය බැංකු නැවත ප්‍රාග්ධනය කිරීමට බදු ගෙවන්නන්ගේ අරමුදල් රු. බිලියන 450 ක ප්‍රතිපාදන වෙන්කර ඇත. මෙය වියදම් බැඳීම් සපුරාලීම සඳහා බදු ආදායම ඉහළ නැංවීමේ බර වැඩි කරයි. වසර ගණනාවක් තුළ පිරිවැයට වඩා අඩුවෙන් ඉන්ධන මිල ගණන් නියම කිරීම හේතුවෙන් ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ණය නිසා ඇති වූ සිදුර වැසීමට මෙම ප්‍රාග්ධනීකරණයේ කොටසක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවට තවත් ගැඹුරු ආර්ථික අර්බුදයක් වළක්වා ගැනීමට අවශ්‍ය නම් අනාගතයේදී මෙම වැරදි නැවත සිදු නොකළ යුතුය.
වත්මන් ආර්ථික් අර්බුදයට අවේණික ඉතා ගැඹුරු අන්තර් සබඳතා ඉහත උදාහරණය මඟින් පිළිඹිබු වේ. අදාල ණය රාජ්‍ය ව්‍යවසායවල හා රාජ්‍ය බැංකුවල ශේෂ පත්‍ර මත එකතුවීමට ඉඩ හැරීමත්, ප්‍රමාණවත් බදු ආදායමක් රැස්කර නොගැනීම හා පිරිවැය පිළිඹිබුවන පරිදි මිල නියම නොකිරීම අඛණඩව සිදු කිරීමෙන් ඇතිවන නියම පිරිවැය දරාගැනීම මග හැරීමට ශ්‍රී ලංකාව සමත්වී නැත. කෙසේ වෙතත්, අර්බුදය උච්ඡස්ථානයට පැමිණීමත් සමඟ මේ සියල්ල ලිහා ගැනීමට පටන් ගෙන තිබේ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම
ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමේ අනෙක් ප්‍රධාන අභියෝගය වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ණය තිරසාර කිරීමේ ප්‍රධාන ඉලක්ක තුනක් සමඟ සිදු කෙරේ, එනම් 2032 වසර වන විට රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 95 ට වඩා අඩු කිරීම, 2027-32 කාලය තුළ දළ මූල්‍යන අවශ්‍යතා (GFN) දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13 ට වඩා අඩු කිරීම සහ විදේශ ණය සේවා ප්‍රතිශතය 2027-32 කාලය තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5 ට අඩු කිරීම.
දේශීය ණය ප්‍රශස්තකරණ (DDO) ක්‍රියාවලියේදී සිදු කරන ලද ප්‍රතිපත්ති තෝරා ගැනීම් සම්බන්ධයෙන් විවේචන එල්ල වී ඇත. රජයේ පොලී පිරිවැයෙන් වැඩි ප්‍රමාණයක් දේශීය ණය වලින් පැනනගින බැවින් දළ මූල්‍යන අවශ්‍යතා අඩු කිරීමේ රජයේ ඉලක්කය සපුරාලීම සඳහා දේශීය ණය ප්‍රශස්තිකරණය අත්‍යවශ්‍ය විය.
ජනප්‍රිය මතයට පටහැනිව, දේශීය ණය ප්‍රශස්තකරණයෙහි විශාලතම බලපෑම එල්ල වී ඇත්තේ රාජ්‍ය බැංකුවලටය. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර (SLDB), විදේශ මුදල් බැංකු ඒකක (FCBUs) සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනාදිය ප්‍රධාන රාජ්‍ය බැංකුවල ප්‍රාග්ධනීකරණය කෙරෙහි දැනටමත් සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇති අතර, ඒ නිසා රජය මූල්‍ය පද්ධතියේ අඛණ්ඩ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා 2024 වසරේ දී මෙම ආයතන ප්‍රාග්ධනීකරණය කිරීමට රුපියල් බිලියන 450 ක් වෙන් කර ඇත. බදු ගෙවන්නන්ගේ බදු ගෙවීමෙන් වන වැය බර අඩු කර ගැනීම සඳහා, ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රමයේ ප්‍රධාන අංගයක් ලෙස වර්ධනය වීමට සහ ස්ථාවරව පැවතීමට රාජ්‍ය බැංකුවලට ප්‍රාග්ධනය යෙදවීමට විදේශ කොටස් හිමියන්ට අවසර දීම අත්‍යවශ්‍ය වේ.
භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී එවැනි බැඳුම්කර පවත්වාගෙන යන බැංකු පද්ධතිය බැහැර කළ බවට විවේචන එල්ල වී ඇති අතර, මූලික කරුණු දෙකක් අවබෝධ කර ගැනීමට මෙම විවේචන අපොහොසත් වී ඇත. පළමුවැන්න වන්නේ, බැංකු පද්ධතිය සතු භාණ්ඩාගාර බැඳුම්කරවලින් සියයට 75 කට වඩා රාජ්‍ය බැංකු සතුය. මෙම බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු නැවත ප්‍රාග්ධනීකරණ අවශ්‍යතාවයක් ඇති විය හැකි අතර ඒ සඳහා බදු ගෙවන්නන් විසින් අරමුදල් සැපයිය යුතුව තිබුණි – එනම් අමතර බදු වැඩි කිරීම් අවශ්‍ය වනු ඇත.
දෙවනුව, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකක ණය සහ රජය සතු ව්‍යවසායන්හි ණය ප්‍රතිව්‍යුහගත කිරීම හේතුවෙන් ඉහත පෙන්වා දුන් පරිදි දේශීය ණය ප්‍රශස්තකරණය වෙතින් විශාල බලපෑමක් රාජ්‍ය බැංකු විසින් දැනටමත් අවශෝෂණය කර ඇත. රජය විසින් ක්‍රියාත්මක කරන ලද දේශීය ණය ප්‍රශස්තකරණය, බැංකු පද්ධතියේ ස්ථායීතාවය සහතික කරමින් සහ ජනතාව මත තවදුරටත් බදු බර පැටවීම වළක්වා ගනිමින්, ණය ඉලක්ක කරා ළඟා වීමට ප්‍රමාණවත් ණය පිළියම් අතර වඩාත් හොඳ තුලනය ලබා ගත්තේය.
ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමේ දී ඇති සංකීර්ණ ප්‍රතිපත්ති මිශ්‍රණය
රාජ්‍ය බැංකු සතු විදේශ විනිමය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මහ බැංකුවේ විදේශ විනිමය සංචිත ගොඩනැගීමේ ඉලක්ක කෙරෙහි බලපෑම් එල්ල කර තිබීම අර්බුදයේ අන්තර් සම්බන්ධිත ස්වභාවය තවදුරටත් පැහැදිලි කරයි. බැංකු විදේශ විනිමය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස බැංකු වල ශුද්ධ විවෘත තත්ත්වයේ (NOP) පරතරයක් ඇති වන අතර එය වෙළෙඳපොලේ විදේශ මුදල් මිලදී ගැනීමේදී බැංකු විසින් පියවා ගත යුතුය. මෙමඟින් මහ බැංකුවට සිය සංචිත ගොඩනගා ගැනීම සඳහා විදේශ විනිමය මිලදී ගැනීමට හා ස්ථාවර විනිමය අනුපාත පැවතීමට ඇති ඉඩකඩ අඩුකරයි. මෙය දිගුකාලීන ආනයන සීමා කිරීම් වලට යොමු වීමට හේතු වූ අතර, අර්බුදයට පෙර රජයේ බදු ආදායම් එකතු කිරීමෙන් සියයට 50 ක් පමණ දේශසීමාවේ දී එකතු කරන බදු මඟින් ලද බැවින් ආදායම වැඩි කර ගැනීමට රජයට ඇති හැකියාවට මෙය බාධාවක් වී ඇත.
මෙම බරපතල ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති එකතුවේ අතිශය සංකීර්ණ බව ඉහත විස්තර මගින් අවධාරණය කරයි. මෙම ක්‍රියාවලිය තුළ රජයේ බදු එකතු කිරීම, පොලී අනුපාත සහ විදේශ විනිමය කළමනාකරණය, ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායයන් සහ බැංකු පද්ධතිය අතර සංකීර්ණ සබඳතා ජාලයක් ඇති කරයි. මෙම විචලනය වන කොටස්වල ඕනෑම ප්‍රතිසංස්කරණ පියවරකට බාධාවක් වීමෙන් සමස්ත පද්ධතියම බිඳ වැටීමට වැඩි හැකියාවක් ඇත. ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට පුළුල් මට්ටමේ සම්බන්ධීකරණයක් සහ වඩාත් සැලකිලිමත්ව ක්‍රියාත්මක කිරීමත් අවශ්‍ය වේ.
සමාලෝචනය: නව සමාජ සම්මුතියක් සඳහා අවශ්‍යතාවය
පසුගිය මාස 18 තුළ ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික තත්ත්වයෙහි භෞතික වැඩිදියුණු කිරීම්වලට හේතු වී ඇත. 2021 වසර අවසන් වන විට ද. දේ. නි. යෙන් සියයට 5.7 ක් වූ ප්‍රාථමික අයවැය හිඟය 2023 වසරේ මුල් භාගයේදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් බවට පරිවර්තනය කර ඇත. ගැඹුරු ආර්ථික අවපාතයක් තිබියදීත් 2023 වසරේ පළමු මාස 6 තුළ බදු ආදායම සියයට 50 කින් වර්ධනය විය. 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී උද්ධමනය සියයට 70 ක සිට 2023 වසරේ සැප්තැම්බර් වන විට සියයට 1.3 දක්වා අඩු වී ඇත. විදේශ විනිමය සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ඉක්මවා ඇත.
මෙම සංඛ්‍යාලේඛන අත්‍යවශ්‍ය ආනයන ලබා ගැනීමේ හැකියාව සාමාන්‍ය තත්වයට පත් වූ බව පෙන්නුම් කරයි. පෝලිම් සහ විදුලි කප්පාදු නතර වී ඇත. ඉහළ මට්ටමක වුවද මිල ස්ථාවර වී ඇති අතර අවසානයේ වැටුප් ඒ අනුව සංශෝධනය අවශ්‍ය වේ. විදේශ විනිමය වෙළෙඳපොළ තුළ යම් ලිහිල් වීමක් දක්නට ලැබේ. කෘෂිකාර්මික කටයුතු සාමාන්‍යකරණය කිරීමට සහ ආහාර සුරක්‍ෂිතතාව තහවුරු කිරීමට හැකි වන පරිදි පොහොර ලබා ගැනීමේ හැකියාව යථා තත්ත්වයට පත් කර ඇත. සැපයුම් දාම යථා තත්ත්වයට පත් වීමත් සමඟ ආර්ථික ක්‍රියාකාරකම් සාමාන්‍ය පරිදි සිදු විය හැක.
එසේ වුවද, වත්මන් සන්දර්භය තුළ ශ්‍රී ලංකාව යම් ආර්ථික ස්ථාවරත්වයක් අත්කර ගෙන ඇති අතර, රට ස්ථාවර සමතුලිතතාවයකින් බොහෝ දුරස් බව පැහැදිලි විය යුතුය. කලින් විස්තර කරන ලද ආර්ථිකයේ ගැඹුරු ව්‍යුහාත්මක අසමතුලිතතාවයන් විසඳීමට බොහෝ කාලයක් ගත වනු ඇත. මෙම ප්‍රතිසංස්කරණ සිදු කර, රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කර ව්‍යුහාත්මක අසමතුලිතතාවයන් තුරන් නොකළහොත් කිසිදු ආර්ථික ආරක්‍ෂණ ක්‍රියාදාම එකතුවක් නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම 2022 වසරේ දී අත්විඳින්නට වූ අර්බුදයට වඩා දරුණු අර්බුදයකට ඇද වැටෙනු ඇත.
බදු අඩු කරමින් ප්‍රාථමික අතිරික්තයක් ලබා ගන්නේ කෙසේද? වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමාජ ආරක්‍ෂණය සඳහා රජයේ වියදම් අඩු කරන්නේ කෙසේද? රාජ්‍ය බැංකු ස්ථාවරත්වයට හානියක් නොවන පරිදි පොලී පිරිවැය අඩු කරන්නේ කෙසේද? වෙළඳ මූල්‍යකරණය සහ ණය ගැනීම් සඳහා බැංකු වල ණය ශ්‍රේණිගත කිරීම් ප්‍රතිෂ්ඨාපනය කරන්නේ කෙසේද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබන ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් නොමැති විට විදේශ මූල්‍යකරණය ලබා ගන්නේ කෙසේද? විදේශ මූල්‍යකරණයකින් තොරව දේශීය ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් රජයේ ණය ගැනීමේ අවශ්‍යතා පවත්වා ගන්නේ කෙසේද? ගෝලීය ප්‍රාග්ධන වෙළෙඳපොළ ප්‍රවේශයකින් තොරව විදේශ විනිමය සංචිත යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේද? බැංකු පද්ධතිය අස්ථාවර නොකර විදුලිය සහ ඉන්ධන පිරිවැයට වඩා අඩු මිලකට ලබා දෙන්නේ කෙසේද?
කෙසේ වෙතත්, තිරසාර විසඳුමකට පැමිණීමට නම් රටක් වශයෙන් ශ්‍රී ලංකාව නව සමාජ සම්මුතියකට එළඹීම අවශ්‍ය වේ. ලෝකයේ අඩුම බදු මට්ටමක් පවත්වා ගනිමින් සැලකිය යුතු ආර්ථික සහභාගීත්වයක් ඇති විශාල රජයක්, රටෙහි පවත්වාගෙන යා යුතු බවට පවතින මතය යථාර්තයක් නොවේ. ශ්‍රී ලංකාව අඩු බදු ක්‍රමයක් මගින් පවත්වාගෙන යා හැකි අත්‍යාවශ්‍ය මහජන සේවාවන් පමණක් සහිත කුඩා රජයක් පවත්වා ගැනීමට තෝරා ගත යුතු හෝ, නැතහොත් ශ්‍රී ලාංකිකයන් හුරුපුරුදු රාජ්‍ය සේවා සහ සුබසාධනයන් සපයන රජයක් පවත්වාගෙන යා හැකි පරිදි, කලාපීය සහ ආදායම් සම මට්ටමේ රටවල් මෙන් ඉහළ බදු පැවතීමේ අවශ්‍යතාවය පිළිගත යුතුය.
ප්‍රතික්‍ෂේප කළ නොහැකි කරුණ නම්, ශ්‍රී ලංකාවට තවදුරටත් තම කටයුතු පෙර පැවති ආකාරයෙන්ම පවත්වාගෙන යා නොහැකි බව ය. රටක් ලෙස වෙනස් වන පරිසරයකට අනුගත වීමට අපට හැකි විය යුතු අතර එසේ නොවුවහොත් 2022 වසරේ දී අත්විඳීමට වූ අන්දමටත් වඩා දරුණු ලෙස ආර්ථිකය සම්පූර්ණ කඩා වැටීමකට ලක්වීම වළක්වා ගත නොහැකි වනු ඇත. ඉදිරියට ශ්‍රී ලංකාව ඉහළ රාජ්‍ය මූල්‍ය හා සාර්ව ආර්ථික විනයකින් යුත් මාවතක් අනුගමනය කළ යුතු අතර, පාලන දුර්වලතා සහ දූෂණ අවදානම් තුරන් කර, රටක් ලෙස ලෝකයේ සෙසු රටවල් සමඟ ඒකාබද්ධ වෙමින් තරඟකාරී ලෙස අපේම දෙපයින් නැගී සිටීමට උත්සාහ කළ යුතුය. මේ දුෂ්කර ගමනේ පළමු පියවර දැන් තබා ඇත, රට වශයෙන් අපි අපේ අතීත භාවිතාවන් වෙත ආපසු යාම කිසිසේත්ම සිදු නොකළ යුතු වන අතර, අප විනය පවත්වාගෙන මනා පරිශ්‍රමයකින් යුතුව කටයුතු කළහොත් නිසි ප්‍රතිඵලයක් ලැබෙනු නොඅනුමානය.