27 April 2024
#දේශීය

වෙරළුගස්තැන්න වැල් පාලම ජල පහරට කැඩීයාමෙන් ජනතාව අපහසුතාවයට

මීට වසර දහයකට පෙර එනම් 2011 වසරේ කදුකරයට ඇති වු අධික වර්ෂාව හේතුවෙන් රත්තොට වෙරළුගස්තැන්න ගඟ හරහා ඇති වෙරළුගස්තැන්න ප්‍රදේශයට යාමට තිබු වැල් පාලම ජල පහරට කැඩී ගොස් ඇති අතර මේ වන විටත් පිළිසකර නොකිරීම හේතුවෙන් ගම්මු අපහසුතාවයට පත්ව සිටියි.

වසර හැටකට ආසන්න දීර්ඝ කාලයක් ගම්මු භාවිතා කළ මෙම වැල් පාලම විටින් විට ඇති වු වර්ෂාව හේතුවෙන් අධික ජල පහරට හසුව ගසාගෙන ගිය බව ගම්වාසීහු පවසති.

දන්කන්ද සහ වෙරළුගස්තැන්න ප්‍රදේශයට පිවිසීය හැකි කෙටි මාර්ගයක් වන මෙම පාලම නොමැතිකමින් වෙරළුගස්තැන්න විදුහලට යන පාසල් ළමුන් එගොඩ මෙගොඩ වන්නේ ඉතාමත් අවධානම් ලෙසය. අධික වර්ෂාව සහිත දින වලට කිලෝමීටර් පහකට වැඩි ප්‍රමාණයක් පයින් යා යුතුය.

මෙම ප්‍රදේශයේ ගම්වාසීන් මෙන්ම කුඹුරු ඉඩම් හිමි ගොවිජනතාව ද මෙම ගඟ හරහා එගොඩ මෙගොඩ වීමට නොහැකිව මහත් අසීරුතාවයකට පත් වී සිටිති.

2014 වර්ෂයේ මෙම පාලම නැවත ප්‍රතිසංස්කරණය කර දීම සඳහා වැඩ ආරම්භ කරත් කලින් ජල පහරට කැඩි ගොස් තිබු පාලමේ යකඩ හා කම්බි ගලවා ප්‍රතිසංස්කරණය නොකර එම කොටස් දම්වැල් අගුලු ලා ගොස් ඇත.

මේ වන විට එම දම්වැල් අගුලු දැමු පාලමේ කොටස් සොරුන් ගලවා ගෙන ගොස් ඇති බව ගම්වාසීහු පවසති. මෙම පාලමේ ඉතිරි කොටස් ටිකත් අතුරුදන් වීමට පෙර හැකි ඉක්මනින් පාලමක් සාදා දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *