මතුගම පොලිස් ස්ථානයට අයත් ගිනිඅවියක් සහ ජීව උණ්ඩ 10ක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිසියේම උප පොලිස් පරීක්ෂකවරයෙකු (SI) සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් ස්ථානයේ ගිනිඅවි සහ පතොරම් සම්බන්ධ ලිපි ලේඛන පරීක්ෂා කිරීමේදී මෙම අස්ථානගත වීම පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් නිලධාරීන් දෙදෙනාගෙන් මෙම ගිනිඅවිය අස්ථානගත වූ ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතර, මෙය සිතාමතා කළ වංචාවක් ද නැතහොත් නොසැලකිල්ල නිසා සිදු වූවක් ද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ආරක්ෂක අංශ සතු අවි ආයුධ අවභාවිතය වැළැක්වීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය ගෙන ඇති දැඩි පිළිවෙත යටතේ මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව දැඩි විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.














