ජපන් සමාගම වැරදි උපදෙස් මත ක්‍රියා කර ඇති බවට කළමනාකාර අධ්‍යක්ෂගෙන් ප්‍රකාශයක්
ඩොලර් මිලියන 6ක මූල්‍ය ආරවුලක්
Asia Capital PLC සමාගමට එරෙහිව CC Trust Ltd. නමැති ජපන් පාර්ශවය විසින් ගොනු කර තිබූ අපරාධමය පැමිණිල්ල විභාග කිරීමට තමන්ට බලතල (Jurisdiction) නොමැති බව පවසමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම නඩුවෙන් විත්තිකාර සමාගම නිදහස් කිරීමට (Discharge) නියෝග කර ඇත. ඇමරිකානු ඩොලර් 5,999,965ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ මුදල් අවභාවිතය යන චෝදනා යටතේ මෙම නඩුව පවරා තිබුණි.
පැමිණිලිකාර පාර්ශවය තර්ක කර තිබුණේ 2017 වසරේ ඇති කරගත් කොටස් හිමියන්ගේ ගිවිසුමකට අනුව ලබාදුන් ඩොලර් තැන්පතුවක්, Asia Capital සමාගම විසින් ඔවුන්ගේ අනුමැතියකින් තොරව රුපියල් බවට පරිවර්තනය කිරීම මගින් සාපරාධී වරදක් කර ඇති බවයි. කෙසේ වෙතත්, Asia Capital සමාගම මූලික විරෝධතා මතු කරමින් කියා සිටියේ මෙය සංකීර්ණ වාණිජ ආරවුලක් මිස මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ විභාග කළ හැකි අපරාධ නඩුවක් නොවන බවයි. එම විරෝධතා පිළිගත් අධිකරණය නඩුව පවත්වාගෙන යාමට බලයක් නොමැති බව තීරණය කළේය.
Asia Capital සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රාජු රාධා මහතා ප්‍රකාශ කළේ තම සමාගම සැමවිටම නීත්‍යානුකූලව කටයුතු කර ඇති බවයි. ජපන් පාර්ශවය වන CC Trust සමාගම වෙත යම් පාර්ශවයක් විසින් වැරදි නීති උපදෙස් ලබා දී ඇති බවත්, මිලියන ගණනක වාණිජ ආරවුල් මහේස්ත්‍රාත් අධිකරණයක විසඳා ගත හැකි බවට ඔවුන්ව මුළා කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ආරවුල සුහදව සහ නිවැරදි නීතිමය ක්‍රමවේද හරහා විසඳා ගැනීමට තම සමාගම සැමවිටම සූදානම් බව ද ඔහු අවධාරණය කළේය.














