පාසල් මගින් දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම වැළැක්වීම සඳහා දැනට පවතින 5/2015 චක්‍රලේඛය වහාම අහෝසි කරන ලෙස ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා රජයෙන් ඉල්ලා සිටියි. වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ දෙමාපියන්ට මෙම මුදල් ගෙවීමට නොහැකි බව පෙන්වා දෙන ඔහු, සියලු ආකාරයේ මුදල් එකතු කිරීම් පැහැදිලිවම තහනම් කරන නව චක්‍රලේඛයක් නිකුත් කළ යුතු බව අවධාරණය කරයි. එම නීති උල්ලංඝනය කරන පාසල් බලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ප්‍රතිපාදන සැලසීමෙන් පමණක් මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නැවැත්විය හැකි බව ඔහුගේ අදහස වී තිබේ.
මෙම වසරේදී දෙමාපියන්ගෙන් කිසිදු මූල්‍ය දායකත්වයක් අවශ්‍ය නොවන බවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය කළ ප්‍රකාශය සහ ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නියෝගය අනුමත කරමින් ස්ටාලින් මහතා මෙම අදහස් පළ කළේය. රජයේ එම තීරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නම් පැරණි චක්‍රලේඛ අහෝසි කර දැඩි නීතිමය රාමුවක් සහිත නව මගපෙන්වීම් පාසල් පද්ධතියට ලබා දිය යුතු බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.















