ලෝක කුසලාන විස්සයි20 තරගාවලියේ වඩාත්ම උණුසුම් පුවත බවට පත්වූ ඉන්දු-පාකිස්තාන තරගය සඳහා පාකිස්තාන රජයේ නිල අනුමැතිය ලැබීමත් සමඟ, ඉන්දියාව සහ මැදපෙරදිග සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ටිකට්පත් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඉන්දියාවේ ප්‍රධාන නගරවල සිට කොළඹට එන ගුවන් ගාස්තු සාමාන්‍ය මිල මෙන් තෙගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය දින කිහිපය පුරා මෙම තරගයට සහභාගී වීම පාකිස්තානය ප්‍රතික්ෂේප කර තිබූ අතර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මහතා අතර ඊයේ (09) පැවති දුරකථන සංවාදයකින් පසු මෙම තීරණය වෙනස් විය. ලංකාවේ ආර්ථිකයට සහ සංචාරක ක්ෂේත්‍රයට ඉන්දු-පකිස්තාන තරගයකින් ලැබෙන දායකත්වය සලකා ජනපති කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර දක්වමින්, ක්‍රීඩාවේ ජීවගුණය උදෙසා තරගයට එක්වන ලෙස පාකිස්තාන රජය සිය කණ්ඩායමට උපදෙස් දී තිබේ. ඒ අනුව දෙරට අතර මහා සංග්‍රාමය සැලසුම් කළ පරිදිම පෙබරවාරි 15 වැනිදා රාත්‍රී 7.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.














