වයස අවුරුදු 3ට අඩු දරුවන්ට ස්මාර්ට් ජංගම දුරකථන ලබාදීමෙන් ඔවුන් විවිධ රෝගාබාධ රැසකට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. විශේෂයෙන්ම මෙම වයස් සීමාවේ පසුවන දරුවන්ගේ ඇස් පෙනීම දුර්වල වීම, ඇස් වියළි වීම සහ කථන වර්ධනය බාල වීම වැනි ගැටලු රැසක් දුරකථන ඇබ්බැහි වීම නිසා දැනටමත් වාර්තා වී ඇති බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. දරුවන්ගේ මොළයේ වර්ධනය සිදුවන මෙම තීරණාත්මක කාලය තුළ ඔවුන් තිරයකට (Screen) ඇබ්බැහි වීම නිසා අන් අය සමඟ සිනහවීම හෝ ඇස් දෙස බලා කතා කිරීම වැනි සමාජීය සම්බන්ධතා ගොඩනගා ගැනීමට ඇති හැකියාව ද අඩාල වන බව හෙළි වී තිබේ.
ජංගම දුරකථන නිසා දරුවන් තුළ ශාරීරික ක්‍රියාකාරකම් අවම වීම හේතුවෙන් මින් පෙර වාර්තා නොවූ මට්ටමින් ළමා ස්ථූලතාව (Obesity), දියවැඩියාව සහ අධිරුධිර පීඩනය වැනි බෝ නොවන රෝග දරුවන් අතර වර්ධනය වෙමින් පවතින බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරයි. එමෙන්ම රාත්‍රී කාලයේ දුරකථන භාවිතය නිසා නින්ද අහිමි වීම, ඉගෙනීමට ඇති උනන්දුව අඩුවීම සහ සමාජීය වශයෙන් හුදකලා වීම වැනි අහිතකර ප්‍රතිඵල දරුවන්ගේ අනාගතයට බරපතල බලපෑමක් එල්ල කරයි. මේ සම්බන්ධයෙන් දෙමාපියන් සහ ගුරුවරුන් වැඩි අවධානයක් යොමු කරමින් අවම වශයෙන් වයස අවුරුදු 3 පසුවන තෙක් හෝ දරුවන් ස්මාර්ට් දුරකථනවලින් ඈත් කර තැබීම අනිවාර්ය බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.














