ගම්පහ දිස්ත්‍රික්කයේ අභිෂේක නොලත් ‘God Father’ ලෙස සැලකෙන ඔස්මන් ගුණසේකරගේ ජීවන අන්දරය ‘Father’ නමින් රිදී තිරයට රැගෙන ආ නිෂ්පාදක, හිටපු කොමාන්ඩෝ සෙබළ ශාන්ත ගීතදේව මහතා සිය නිර්මාණය පිළිබඳව අදහස් දක්වා ඇත. සමාජය විසින් ඔස්මන්ව ‘පාතාලයකු’ ලෙස හංවඩු ගැසුවද, ඔහු සැබවින්ම තමන්ට සහ තම පවුලට සිදුවූ අසාධාරණය හමුවේ යුක්තිය පතා අවි අතට ගැනීමට බලකෙරුණු මානුෂීය ගුණාංගවලින් හෙබි පුද්ගලයකු බව ගීතදේව මහතා අවධාරණය කරයි. විශේෂයෙන්ම තමන්ගේ සහෝදරයාව ඝාතනය කළ අයට උසාවි භූමිය තුළදීම දඬුවම් පමුණුවා, පලා නොගොස් නීතියට ගරු කළ ආකාරය තුළින් ඔහුගේ සැබෑ චරිතය විදහා දැක්වෙන බවත්, මෙම සිනමාපටය හරහා සිදුකරන්නේ එම හෘදසාක්ෂියේ සත්‍යය සමාජය හමුවේ තැබීම බවත් ඔහු පවසයි. පළමු සිනමා නිෂ්පාදනයෙන්ම සාර්ථකත්වයක් ලබා ඇති හෙතෙම, ඉදිරියේදී මෙරට සිනමා ඉතිහාසයේ වැඩිම පිරිවැයක් දරමින් ‘රාවණ’ දැවැන්ත සිනමා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ද සූදානම් වේ.
මීට දශක තුනකට පෙර මුහුදේ අතරමංව, මරණය පෙනි පෙනී සිටි ශාන්ත ගීතදේවයන් ඇතුළු පිරිස ජීවතුන් අතර සිටින බව මුලින්ම ලොවට අනාවරණය කළ පුවත්පත් වාර්තා පිළිබඳව ද ඔහු මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය. දින 45ක් පුරා මරණය පරාජය කරමින් කළ එම සැබෑ ජීවිත අරගලය, අනාගතයේදී සිනමාවට නැඟීමට තමන් තුළ ඇති බලාපොරොත්තුව ද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.














